ඒ වගේම ඔබට මතක ඇති, මට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ කාන්තාවකට, මගේ ඥාතියෙක් මරණ තර්ජනය කළ බව, නීතිපති නිලධාරීන් හදිසියෙම වගේ කොමිසමට වාර්තා කළා. ඒක සම්පුර්ණ බොරුවක්. ඒ අදාළ පුද්ගලයා මගේ ඥාතියෙක් නොවෙයි. මේ කාරණයට මාධ්‍ය වල ප්‍රමුඛතාවක් ලැබුණා. මේවා විශ්වාස කරන මිනිස්සු, මා සහ මගේ පවුල පිළිබඳ වැරදි චිත්‍ර මවා ගත්තා. එය මගේ දේශපාලන ජීවිතයට දැඩි අගතියක් ඇති කළා.
නීතිපති නිලධාරීන්ට අතිශය වැදගත් වූ එමෙන්ම විශාළ මාධ්‍ය සංදර්ශනයක් ඇතිකර මේ සිද්ධිය ගැන කිසිඳු සටහනක් මේ වාර්තාවේ සටහන් නොවීම මෙම දේශපාලන කුමන්ත්රණයේ තවත් පැතිකඩක්.
මට සියළු චෝදනා නැගීමට පාදක කරගත් අදාළ නිවස හිමි කාන්තාවගේ සාක්ෂියටද මාධ්‍ය ඔස්සේ අතිශය ප්‍රබල ප්‍රචාරයක් ලබාදුන්නා. එයද මගේ කීර්ති නාමයට දැඩි බලපෑම් ඇති කළා.
එදා මහා විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින්, මේ කාන්තාවට රජයේ ප්‍රභූ ආරක්ෂකයින් 6 දෙනෙකු ලබා දුන්නා. ඒ වගේම ඇයගේ සහෝදරයා වෙත ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනකු ලබාදුන්නා. ඒත් යහපාලනය ගෙන ඒම වෙනුවෙන් කැපවීම් කර ඒ නිසාම බැට කමින් සිටින මේ කතාකරන මා හට කිසිඳු ආරක්ෂයෙකු ලබාදී නැහැ.
හරි පුදුමේ කියන්නේ, එච්චර ලොකු ඝෝෂාවක් කරලා, එච්චර ලොකු ආරක්ෂාවක් දීලා ගත්ත ඒ කාන්තාවගේ සාක්ෂියත් කොමිෂන් වාර්තාවෙ නොමැති වීමයි.
දැන් මෙතැනදී මට අහන්න ප්‍රශ්නයක් තියනවා. අච්චර ඝෝෂා කරලා, ආරක්ෂකයන් දුන්නේ වැඩකට නැති සාක්ෂියකටද? නැත්නම් මට මඩ ගහන්න අවශ්‍ය සාක්ෂි දීම සඳහා ජනතා මුදලින් ආරක්ෂකයින් දුන්නද?
මේක සම්පුර්ණ පරස්පරයක්. විකෘතියක්. කුමන්ත්‍රණයක්. සමාජය නොමග යැවීමක්. මේ ජරා දේශපාලන සංස්කෘතිය අපි නැති කරන්න ඕන.
යහපාලනයක් ක්‍රියාත්මක වන රටක එහි ප්‍රධාන පුරවැසියාගේ කාර්යාලයේ අනුග්‍රහයෙන් මෙවැනි සත්‍යයෙන් තොර විකෘති කරුණු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට ආවේ කොහොමද? මේ ගැන අපි හොයලා බලන්න ඕන.
කිසියම් පරිවර්තන දෝෂයක් හරහා එය සිදුව තිබෙනවාද? නැතිනම් නොසැලකිල්ල නිසා එය සිදුවූවාද? ඒ කුමක් වුවත් මේ හේතු එකක් හෝ කිහිපයක් වුවත්, ඒ තුළ ජනාධිපතිවරයාටත් අවමානයක් සහ අපකීර්තියක් සිදුවන බව ඉතාම පැහැදිළියි. පිළිගන්න අකමැති වුවත්, කොතරම් තිත්ත වූවත් ඇත්ත කතාවත් එයයි.
හිතා මතා කරුණු විකෘති කිරීමක්
ඒ අනුව මේ සම්බන්ධව මගේ අදහස වෙන්නෙ, ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වාර්තාව හැදෑරූ සහ ඊට අදාළව විශේෂ ප්‍රකාශය සකස්කළ පුද්ගලයන් හිතාමතාම ඉතා සූක්ෂමව කරුණු විකෘති කිරීමක් සිදුකර ඇති බවයි.
මා මේ බව අවධාරණය කරන්නේ හුදු හිතළුවක් ලෙස නොවෙයි. මා මේ කාරණයත් මතු කරන්නේ හේතු ඇතුවයි.
ඒ වගේම මං සඳහන් කරන්න කැමතියි, ජනාධිපතිවරයා විසින් කොමිසම පත්කිරීමට අදාළව නිකුත් කළ අභිනියෝගයට (Mandate) අනුවත් මේ සඳහන් කාරනා කොහෙත්ම අදාළ නැති බව. නමුත් මට, අදාළ විමර්ශන වෙනුවෙන් කොමිසම කැඳවීමක් සිදුකලා. එහිදී යහපාලන සම්මුති ආණ්ඩුවේ නියම උරුමක්කාරයන් ලෙස අපි ඊට සම්පුර්ණ සහය දැක්වුවා.
ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් කොමිසමේ කටයුතු වලට බලපෑමක් ඇති නොවීම සඳහා මා දැරූ අමාත්‍යධුරයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කළා. ඉන් පසුවත් මේ දේශපාලන කුමන්ත්‍රණය තුළ මට එරෙහිව විවිධ මඩ ප්‍රචාර, මාධ්‍ය ප්‍රචාර ලෙස ජනතාව නොමග යවමින් දියත් වුණා.
ඒ කොහොම වුනත් දැන් මමත් කැමතියි මම කියපු අසත්‍ය සාක්ෂි මොනවාද කියා දැන ගන්න. ඒකට මට අයිතියක් තිබෙනවා.
මේ විදිහට බලන කොට මේ කොමිෂන් වාර්තාව ඒ වගේම ඒ පදනම් කරගෙන සකස් කරපු ජනාධිපති ප්‍රකාශය සහ එහි පරිවර්තන තුළ විශාල පරස්පරතාවන් දකින්නට පුළුවන්. එහි මා සම්බන්ධ තැන් වල මා දේශපාලන ගොදුරක් ලෙස ඉලක්ක කර තිබෙනවා. ඒ වගේම ඒ තුළ යම් කුමත්ත්‍රණකාරී ස්වභාවයක් ඇති බව පැහැදිළි වෙනවා. මෙවැනි කටයුතු තුලින් මෙවැනි කොමිෂන් වෙත තිබිය යුතු විශ්වසනීයත්වය සහ ගරුත්වය කෙලෙසී යනවා. ජනතාව අතර හෑල්ලුවට ලක්වෙනවා.
පසුගිය බැඳුම්කර ගනුදෙනු මඟහැරුණේ කොහොමද?
හරි නම් බැඳුම්කර ගනුදෙනු පිළිබඳව 2008- 2015 කාලය ගැන තමයි මුලින්ම හොයලා බලන්න ඕන. එහෙම වුණා නම් දේශපාලන තත්ත්වය ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඒත් දේශපාලන තීන්දුවක් ලෙස 2015-2016 ගැන පමණක් මුලින්ම හොයන්න තීරණය කරලා තියනවා.
අපි වැරදි කරලා නෑ. ඒ නිසා අපි බය නැතුව මේ කොමිසමට මුහුණ දුන්නා. නමුත් ඔබ සියලු දෙනාගේ අවධානය යොමුකළ යුතු කරුණක් තියනවා. ඒ තමයි මේ සිදුවීම ගැන සොයා බලන්න මීට පෙරත් කමිටු පත්කර තිබුණු බව.
පළමුව අගමැතිතුමා පිටිපන කොමිසම පත්කළා
ඉන් පසුව ඩිව් ගුණසේකර මහතා යටතේ කොප් කමිටුවේ මේ පිළිබඳව කරුණු විභාග කළා.
නැවත මේ පිළිබඳව සුප්රීම් උසාවියේ විභාගයක් සිදුවුවා.
පසුව අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවේ නැවත වතාවක් විභාග කෙරුණා.
අනතුරුව සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කොමිටුවෙහි මෙම බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ ව විමර්ශනයක් සිදුවුණා.
අහක හිටපු මාව පටලවා ගත්තා
ඉහත ආයතන විවිධ පැතිවලින් මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවා. ඒ සියලුම ආයතන කිසිදු අයුරකින් මගේ නම ඊට සම්බන්ධ කර ගත්තේ නැහැ. මොකද මේ ප්‍රශ්නය අදාළ විෂය පථය මගේ අමාත්‍යංශ අදාළ නොවූ නිසයි. එය ඉතාම පැහැදිළි කාරණයක්.
නමුත් ජනාධිපති කොමිසම හමුවේ පැත්තක තිබු මගේ නම, මේ ගනුදෙනුවට සම්බන්ද කර ගත්තා.
එපමණක් නොවෙයි, මගේ හා මාගේ පවුලේ උදවියවත් ඊට මැදිහත් කරගත්තා. නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් මෙවැනි කොමිසමක ඇසිය නොහැකි, මාගේ පෞද්ගලික ජීවිතයට අදාල ප්‍රශ්න පවා අසන තැනට පත්ව සිටියා. නීතිපති දෙපාර්තුමේන්තුවේ ගරුකටයුතු නිලධාරීන්ගේ එම හැසිරීම මට එරෙහි මාධ්‍ය සංදර්ශන බවට පත්වුණා.
ඒ කොහොම නමුත් මට අදාළව කොමිසම සිදුකර තිබෙන අවසන් නිර්දේශය මොකක්ද? මා කියන කරුණුවල නිවැරදි බව සලකා බලා ඒ අනුව සුදුසු පරිදි කටයුතු කරන්න කියා නේද?
ඒත් ජනාධිපතිවරයාට සකස්කර දුන් ප්‍රකාශයේ සඳහන් වෙන්නේ මට විරුද්ධව නඩු පවරන්න කියලා.
මං අහන්න කැමතියි මාස දහයක් තිස්සේ මටත්, මගේ පවුලේ උදවියටත්, එක්සත් ජාතික පක්ෂයටත් පව්කාරයන් ලෙස සලකා ගල් ගැස්සුවේ මේ ටික කියන්නද කියලා?
මාව පව්කාරයා කරලා, කුරුසය කරේ තියලා, කල්වාරි කන්ද නග්ගන විදිහට මාධ්ය සංදර්ශන පැවැත්වුයේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුළ සිදුව ඇත්තේ කන්දක්
විළිලා මීයෙක් වත් නොවැදු වැනි දෙයක් නොවේද?
දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? මේ ක්‍රියාවලියට කොහෙත්ම සම්බන්ධයක් නොතිබූ මාව ඊට ගැට ගැසුවා පමණක් නොවෙයි, ඒ ක්‍රියාවලිය තුළ මා නිවැරදි බව තහවුරු වූ විට විශේෂ ප්‍රකාශයක් හරහා නැවත ප්‍රශ්නයට ගැටගහලා.
කෙටියෙන් කියනවා නම් මේ අවස්ථාව කියන්නෙ මට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පන්නයේ තීන්දුවක් ලැබී තිබෙන අවස්ථාවක්.
කොහොම නමුත් එක් දෙයක් පැහැදිළියි. ඒ තමයි, මෙම ක්රියාවලිය සැලසුම් කල උදවියට කොමිසමේ වාර්තාව තුලට ඔවුන්ගේ උවමනාව ඇතුලත් කර ගැනීමට නොහැකි වීම. එහෙමත් නැත්නම් යහපාලනය පෙන්වා යහපාලන සම්මුති ආණ්ඩුවට පහර දෙන්න සැළසුම් කළ අයගේ අපේක්ෂා, කොමිසමේ වාර්තාව නිසා අර්බුදයට ගොස් තිබෙනවා.
එහෙම තියෙද්දිත් මේ ජඩ දේශපාලනය නිසා අදත් අපිට මඩ ගහනවා.
කුමන්ත්‍රණයේ ඉලක්කය රවීම නොවෙයි !
මං නැවතත් කියනවා. මේක රවී කරුණානායක ඉලක්ක කර සැළසුම් කළ කුමන්ත්‍රණයක් නෙවෙයි. මෙතැන ඊට වඩා දෙයක් තියනවා. ඒ නිසා තමයි ඔවුන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් විකෘති කර, තමන්ට අවශ්‍ය දේ ජනාධිපතිගේ ලෙස ප්‍රකාශ කරවන්න තරම් අවධානමක් ගත්තේ. නැත්නම් ජනාධිපතිගේ කීර්තිනාමය පවා පරදු තබන්න තරම් ධෛර්යක් ඔවුන්ට ලැබුණේ කොහොමද?
මේ කටයුතු හරහා මාව දේශපාලනිකව ඝාතනය කිරීමට කවරෙකුට හෝ තිබු උවමනාව ඉතා හොදින් පෙනී යනවා. එසේම එය, අදටත් සිදුවෙනවා.
ඒ වගේම මේ ගනුදෙනුව සම්බන්ධව විවිධ මිත්‍යා මත පතුරවා සමාජය නොගම යවා තිබෙනවා. ඒවා සියල්ල දේශපාලන වාසි ලබාගන්න, මඩ ගහන්න කරපු දේවල් බව මේ කොමිසම හමුවේත් ඔප්පුවී තිබෙනවා.
අප යහපාලන ආණ්ඩුව බිහිකළේ පසුගිය කාලයේ කල මහා පරිමාණ දුෂණ හා වංචා වලට එරෙහිව. ඒ ගැන මෙතෙක් කල පරීක්ෂණ වලට කිසිදු විධිමත් පියවරක් ගෙන නැහැ. ඒ පසුබිමේ එජාපයට සම්බන්ද අය පමණක් තෝරා ගෙන සාවද්‍ය ලෙස පහර දීම, අපි තරයේ හෙලා දකිනවා.
මොකක්ද එජාපය සමඟ ඇති මේ වෛරය? මෙතැන තමයි කුමන්ත්‍රණය. මෙයයි ඔවුන්ගේ අපේක්ෂාව. තවමත් තැන තැන තප්පුලමින් ඉන්නේ ඒ සඳහායි.
මං අද අහනවා, රවී කරුණානායක ගැන අද මොකක්ද කියන්න තියෙන්නේ. කොමිසමේ නිර්දේශ ඉතා පැහැදිළියි.
නමුත් තවමත් පැහැදිළි නැති සහ 2015 ජනවාරි 8 ට පෙර දුන් පොරොන්දු ප්‍රකාරව සිදුකල යුතුම පරීක්ෂණ කීයක් තියනවද?
හෙජින් ගනුදෙනුව නිසා ලංකාවට අහිමි වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 96000
ශ්‍රී ලංකන් අලාභය රුපියල් මිලියන 146000
මිහින් ලංකා අලාභය රුපියල් මිලියන12300
ශ්‍රී බොන්ඩ් අලාභය රුපියල් මිලියන 3900
මත්තල ගුවන් තොටුපල ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 46000
නෙලුම් කුලුන ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 7600
ආරක්ෂක මුලස්ථානය ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 64000
හම්බන්තොට වරාය ඉදිකිරීම් වියදම රුපියල් මිලියන130000
මිග් ගනුදෙනුව රුපියල් මිලියන 85000
පිරමිඩ් ගනුදෙනුව අලාභය රුපියල් මිලියන11800
කොමිෂන් වාර්තා රැසක් පුස් කයි
ඒ වගේම බරපතල දුෂණ වංචා විමර්ශනය කරන්න පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අතුරු වාර්තා 34ක් තිබෙනවා. ඇයි ඒ ගැන සද්දයක් නැත්තේ. ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගන්නේ , දේශපාලන හේතු නිසා නොවෙයි නම් වෙන මොන හේතුවක් නිසාද?
පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයෙදීත් අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. පසුගිය රජය සමයේ සිදුවූ වංචා දුෂණ සොයා බලා දඬුවම් දෙනවා කියලා ප්‍රතිඥා දුන්නා. අපි බලයට පත්වුණාම වංචා දුෂණ කරන්නේ නෑ කිව්වා. වංචා දුෂණ සිදුවීමට හැකි ඉඩකඩ අවුරාලමින් අලුත් නීති රීති ගේනවා කිව්වා.
පසුගිය ආණ්ඩුවේ වංචා දුෂණ සෙවීමේ කටයුතු අපි සෑහෙන දුරට ක්‍රියාත්මක කර තියනවා. අපේ ආණ්ඩු සමයේ සිදුවුවා යැයි කියන වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිෂන් පවා පත්කර තියනවා. අපේ ආණ්ඩුවටත් හොරකන් කරන්න අදහසක් තිබුණා නම් කෝප් කමිටුවේ සභාපතිධුරය විපක්ෂයට දෙන්නේ නෑ. අනාගතයේ හෝ සිදුවිය හැකි වංචා දුෂණ වැලක්වීමට අවශ්ය නීති සකසමිනුයි අපි ඉන්නෙ.
මේ රටේ දේශපාලනඥයන්ට නරක ජාතික පුරුද්දක් තියනවා. ඒ තමයි, තමන්ට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල වුනාම, ජනාධිපති පස්සේ ගිහින් හෝ පක්ෂ නායකයා පස්සේ හැංගිලා ඒ චෝදනාවන්ගෙන් බේරෙන එක. ඒක රාජපක්ෂ පාලනය යටතේත් සිදුවුණා.
අද අපේ අතිගරු ජනාධිපති පස්සෙ හැංගීම නිසා නඩු නැතිව ඉන්න, ඒත් දුෂණ වංචා වලට නම කියවුණ කීයක් ඉන්නවද? ශ්රීලනිපයේ නිසා නඩු නැති කීයක් ඉන්නවද? ඒකාබද්ධ විපක්ෂයේ හිටියත් පක්ෂය බැලන්ස් කරන වැඩේට මුවා වෙලා කී දෙනෙක් කිසිම ප්රශ්නයක් නැතුව ඉන්නවද? බඩු නෑ කියලා නඩු කීයක් වාෂ්ප වෙන්න යනවද?
ඒ නිසා තවමත් කරන්න ආව දේ නොකර අපේ ඇඟේ එල්ලිලා ගොඩයන්න හදන අයට කියන්න දෙයක් තියනවා. රවී කරුණානායකගේ පොතේ හැංගිලා බේරෙන තියරිය නෑ. ඒ තුට්ටු දෙකේ දේශපාලනය හරහා රටේ අධිකරණයට, සමාජ යුක්තියට වෙට්ටු දාන වැඩ අපි ළඟ නෑ. ඉස්සරහට කරන්නෙත් නෑ. මොකද හැංගෙන්න ඕන වැරදි කරපු අයයි.
වැඩිය එපා ඔය අද කපුරුහාමිලා වගේ ඉන්න සමහරු 2015 ජනාවාරි 8 ට පෙර රාජපක්ෂගේ වේදිකාවේ ඉඳගෙන කරපු කතා ටිකක් අහන්න. ඒ එක්ක අද කියන කතා ටිකත් අහන්න. ඔය කපුරු හාමිලගේ වචන විතරයි වැඩ අන්තිමයි.
චිංචිමානවිකාව දර මිටියක් බැඳන් ආව හැටි
මා වැනි පෘතග්ජන පුද්ගලයෙකුට මෙහෙම දේ සිදුවීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද බුදුරජාණන්වහන්සේටත් මේ වගේ වුණා. එදත් නගරසෝභිනියක් වූ චිංචිමානවිකාවගේ දරමිටියක් බැඳලා එව්වා. නමුත් එදා සක්ර දෙවියන් පැමිණ දර මිටිය ලිහලා බුදුරදුන්ගේ නිරවද්යභාව ඔප්පු කළා.
බැඳුම්කර කොමිසම කියන කතාව හරි ලස්සනයි. ඒ අය කියනවා මේ ලිහලා පෙන්නපු දර මිටිය, ඇස් ඉදිරිපිට තියන දරමිටිය, ඇත්තටම දරු ගැබක්ද කියලා පරීක්ෂා කරන්න කියලා. දරමිටිය දරු ගැබක් නම් ඊට අදාළ පියාට එය භාරදෙන්න කියනවා. ඒ තල්ලුවෙන් ආණ්ඩුව බිඳ වට්ටන්න මාන බලන අපේ කාලයේ චිංචිමානවිකාවන් තව දුරටත් ඒ සෙල්ලම ඉස්සරහට ගෙනියන්න හදනවා.
සිරිකොතට ගල් ගහපු පව්කාරයන්
මොන විහිළුවක්ද මේ කරන්නේ. අපේ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න විවිධ කණ්ඩායම් විවිධ අවස්ථා වලදී කටයුතු කරා. තුවක්කුවෙන්, බෝම්බයෙන් , කුමන්ත්රණ වලින් අපේ පක්ෂය විනාශ කරන්න ගත්ත කිසි උත්සාහයක් සාර්ථක වුණේ නෑ. අදත් බෑ. හෙටත් බෑ. අපි ඊට ඉඩ දෙන්නෙත් නෑ. පක්ෂය දෙකඩ කරලා සිරිකොතට ගල් ගහපු පව්කාරයින්ට ඒක කරන්න ඉඩ දෙන්නේ නැති බව මේ රටේ ඉන්න අපේ පාක්ෂිකයෝ හොඳින්ම දන්නවා. ඉත්තෝ හැංගිලා හුන්ගෝ එළියට දාගෙන මේ ඇත්පවුර බිඳින්න හිතනවා නම් ඒවට උත්තර දෙන හැටි පක්ෂය දන්නවා. රාජපක්ෂ සමයේත් එහෙම කරන්න ආව අයට පක්ෂය උත්තර දුන්න හැටි ඔය හැංගිලා ඉන්න
දේශපාලනයින් විදිහට අප ඕනෑම විවේචනයකට ඕනෑම අවලාදයකට, ඕනෑම අපවාදයකට මුහුණ දියයුතුයි. ඊට අපට ශක්තිය තිබිය යුතුයි. ඒත් දේශපාලනයට කිසිඳු සම්බන්ධයක් නැති අපේ දුවා දරුවන්, බිරින්දෑවරු අපහසුතාවයට, වේදනාවට පත්කරන ද්වේශසහගත ප්‍රකාශ ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නෑ.
මේ කුමන්ත්‍රණකාරී මඩ ව්‍යපාර නිසා මගේ දියණියන් කොපමණ කම්පනයකට පත්වුවාද? කොතරම් කඳුළු සලන්න ඇතිද? ඒ කඳුළු, ඒ සුසුම් වලට වගකියන්නේ කවුද? කෙසේ වුවත් එවැනි අවලාද ඉදිරියේ හඬා වැලපෙමින් හෝ මට ශක්තියක් දුන් මගේ බිරිඳටත් දරුවන්ටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන.
ඒ වගේම මේ අවස්ථාවේදී මට විශාල ශක්තියක් වූ අපේ පක්ෂයේ නායකතුමාටත්, පාක්ෂිකයන් මෙන්ම පාර්ලිමේන්තු සගයන්ටත් , යහපාලන ආණ්ඩුවට ආදරය කරන මගේ හිත මිතුරන්ටත්, විශේෂයෙන් දිනපතා දුරකථන ඇමතුම් සිය ගණනක් ලබාදෙමින් මා දිරිමත් කල මාගේ හිතවතුන්ටත් මේ අවස්ථාවේ ස්තුති කරනවා.
අවසන් මොහොතේ හෝ මෙහි ඇත්ත තේරුම්ගත් සමාජ මාධ්ය ජාලා ඇතුළු මාධ්ය හිතවතුන් සියලු දෙනාටත් මං ස්තුතිය පුදකරනවා.
ස්තුතියි: 10 වනදා බලාගමු !
එහෙයින් ගරු කතානායකතුමනි,
මා මතුකළ කාරනා පිලිබඳ ඔබගේ නිසි අවධානය යොමුකොට මාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
කුමන්ත්‍රණකාරයින් පිරිසක් විසින් මා වෙතත් පොදුවේ එක්සත් ජාතික පක්ෂයත් ඉලක්ක කර ගනිමින් මැතිවරණ සමයේ සිදුකරණු ලැබූ මෙම කුමන්ත්‍රණය නිසා එක්සත් ජාතික පක්ෂයට බලවත් අගතියක් සිදුව තිබෙනවා. පෙබරවාරි 10 වනදා අපේ පාක්ෂිකයින්, අපේ හිතවතුන්, 2015 ජනවාරි 08 බලවේගයේ සියළු ක්‍රියාකාරීන් ඊට නිසි පිළිතුරු දෙනු නොඅනුමානයි. එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කරනු නියතයි.
අවසන් වශයෙන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහබැංකු බැඳුම්කර ගනුදෙනු වලදී අක්රමිකතාවක් සිදුව ඇතැයි එල්ලවූ චෝදනා පිලිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරමින් එහි අවසන් වාර්තාව හරහා අපේ පක්ෂයට එල්ලවූ චෝදනා වලින් නිදොස්කොට නිදහස් කළ, අගමැතිවරයාට එල්ලවූ චෝදනා වලින් එතුමාව නිදොස්කළ, විශේෂයෙන් මා වෙත එල්ලවූ චෝදනා වලින් නිදොස් කල අතිගරු ජනාධිපතිතුමාට මාගේ ස්තුතිය පුද කරමින්, මේ ප්‍රකාශය අවසන් කරනවා.