Thursday, March 1, 2018

පටු දේශපාලන සහ ජාතිවාදී විරෝධයින්....කෑමට පෙර ජාතිවාදය සෝදමු.....

2018 මාර්තු මස 01.

මොනෝසෝඩියම් ග්ලූටමේට් හෝ කෙටි නාමය විදියට MSG කියන රසායනික නාමයෙන් හඳුන්වන කෘත්‍රිම ආහාර රසකාරකය ලංකාවෙ සාමාන්‍ය කෑම කඩවල භාවිතා වන්නේ අහුරු ගණන්. එහි නිශ්චිත ප්‍රමාණයක්, යෙදිය යුතු හෝ නොයෙදිය යුතු ආකාරය පිළිබඳව නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක්ද නැහැ.

2015 වසර අග භාගයේදී ඉඳන් ලංකාවෙ තේ වගාබිම්වල සහ වතුපිටිවල වැවෙන වල් පැළෑටි විනාශ කිරීම සඳහා ලාභදායීම වල් නාශකය විදියට භාවිතා කළේ මේ කියන මොනෝසෝඩියම් ග්ලූටමේට්. ඒ ගැන මාධ්‍යයේ පළ වුණාම ජනාධිපතිවරයා නියෝග කළේ ආහාරවලට මොනෝසෝඩියම් ග්ලූටමේට් යෙදීම පාලනය කිරීමේ සිට ආනයනය කිරීමද තහනම් කරන්න ඕන කියලා. ඒක මේ රටේ ආහාරවල ප්‍රමිතිය සහ පාරිභෝගික සුරක්ෂිතතාවය වෙනුවෙන් ගත්ත හොඳ පියවරක් වුණත් යහපාලනයේ නොකෙරුණු ගොඩක් තීරණ වගේම ඒකත් නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ.

වල් පැළෑටි මැරෙන විසක් හෝ රසායනියකයක් ඒ රසකාරකයෙ තියෙනව නම් ඒවා අහුරු ගණන් කෑම එක්ක ශරීරයට යද්දි කොහොම ඇතිද කියල තමයි කෘෂිකර්ම දුමින්ද දිසානායක ඒ කාළෙ කිව්වෙ. ඒ අයටත්, ඒවා තොග ගනං කන මහජනතාවටත් අද ඒ ගැන වගක් නෑ.

ආහාර කියන්නෙ මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව වෙනුවෙන් අපේ රටේ අඩියෙන් අඩිය කෙටි ආහාර සහ ෆ්‍රයිඩ් රයිස් කඩ ඕනෑ තරම්. ඒවයේ ආහාර පරිභෝජනය කරන්නෙත්, ඒව පවත්වාගෙන ‍යන්නෙත් අපේ රටේ මධ්‍යම පාන්තික ජන ප්‍රජාව.

මේ ආහාරපාන කඩ ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම තියෙන්නෙ රජයට. බදු මුදල් ගෙවන සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා මහජනතාව නිරෝගී පුරවැසියන් කිරීමත්, ව්‍යාපාරික ආයතන නියාමනය කිරීමත් පැවරිලා තියෙන්නෙ රජයට. ඒක බිඳහෙලිය නොහැකි රාජ්‍ය වගකීමක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගෙ ඉඳල පාරිභෝගික කටයුතු අධිකාරිය රාජ්‍ය බදු මුදල්වලින් පවත්වාගෙන යන්නෙ ඉහත වගකීම රජය සතු නිසා.

ඒත් ලංකාව ඇතුළෙ මේ ආකාරයට මනා ක්‍රමවේදයකට අනුව ආපනශාලා නියාමනයක් වෙනවද කියල සැක සහිතයි. ඉහළ පෙළේ හෝටල්වලට නොයන අති බහුතර මධ්‍යම පාන්තික ජනතාවගේ ආහාර පානවල ගුණාත්මකබව, සෞඛ්‍යසම්පන්න බව පිළිබඳ නිශ්චිත ඇගයීමක් රජයන්ගෙන් නිසියාකාරව ඉටු නොවෙද්දී, අවම වශයෙන් ඒවා පරිභෝජනය කරන මහජනතාව හරි අවධානය යොමු නොකිරීම තමන්ගෙ සෞඛ්‍ය තමන්ම අවදානමේ දමා ගැනීමක්. එක් වරකට වඩා බැදි තෙල් , අහිතකර රසකාරක යෙදූ ආහාර, අධික ලුණු සහ සීනී යෙදූ අහාර, බාල කරන ලද සෝස් වර්ග මේ හෝටල්වල ප්‍රධානම අමුද්‍රව්‍ය බවට පත්වෙලා. ආහාර සුරක්ෂිතතාව වෙනුවට අධික ලාභය ලැබීම පමණක් මූලික වීම ඒකට හේතුව.

ආර්ථිකව පහළ අඩියක ඉන්න අපේ කලාපෙ හැම රටක්ම මේ වගේ ආහාර ඛේදවාචකයකට මූණපාල තියෙනව. නමුත් භූමිය හා දේශගුණය වගේම ජලය යහමින් ඇති අපේ රටේ ආහාර හිඟ වීම හෝ එහි නිසි ගුණාත්මක බවක් නොමැති වීම අපේ කලාපයේ අනෙක් රටවලට තියෙන බාධක එක්ක ගත්තම අවසනාවන්ත තත්වයක්. ඒකට මූලික හේතුව නොදැනුවත් භාවය, ආර්ථික අගතිගාමීත්වය, සම්පත් බෙදී යෑමේ විෂමතාව සහ විද්‍යාත්මක පරිකල්පනය වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන අසත්‍ය පස්සේ දුවයෑම බව පැහැදිලියි.

එතනින් එහාට මැස්සන්, මීයන්, කැරපොත්තනුත් සැරිසරන මුළුතැන්ගෙය පාමුල ඇරුණු අපිරිසිදු වැසිකිළි තියෙන්නෙත් මේ කෑම බීම එක්කමයි. සමහර මුළුතැන්ගෙවල කෘමි උවදුරට රසායනික යොදන්නෙ එහි ආහාර ඇති බවට කිසිදු සැලකිල්ලක් නැතුව. කෘමි නාශක වැදුණු සතුන් ගමන් කරන්නෙත් ආහාර මතින්. පහුගිය දවසක මාධ්‍ය මඟින් පෙන්වපු විදියට කොත්තු රොටියට අවශ්‍ය එළවළු ගන්නෙ මාකට්ටුවෙ පිටිපස්සෙ කුණු ගොඩෙන්. රොටී තැටිය, තාච්චිය තියෙන්නෙ දූවිලි ගලන මහපාර මායිමේ. හැම කෑමක් බීමක් ගැනම තියෙන්නෙ මේ වගේ කප්පරක් ප්‍රශ්න. බෝ නොවන රෝග අටෝරාශියකින් දිනපතා මියයන, රෝගාතුර වෙන ප්‍රමාණය දවසින් දවස අහස උඩට යද්දි මිනිස්සු කරන්නෙ බෙහෙත් අහුරු බොන එක.

මේ වගේ අහිතකර ආහාර වෙනුවෙන් හඬ නගනව වෙනුවට අපේ රටේ මිනිස්සු හොයන්නෙ තමන්ගෙම අනික් සහෝදර ජාතීන්ගෙ ජාතිවාදය හරි පටු අන්තගාමීත්වය ගැන මුසාවාද. එකම කුඹුරෙ බත තම්බි රයිස්, දෙමළ රයිස් වෙලා. ආහාර එක්ක බඩට යන ඇත්ත සතුරාට එරෙහිව සටන් කරනවා වෙනුවට ජාතිවාදී පටු කාළකන්නින් කීපදෙනෙක් වපුරන ජාතිවාදී කොටස්වල එල්ලිලා.
පහුගිය ඉතිහාසය දිහා හැරිල බැලුවම අලුත් අවුරුදු සමය එද්දිම, ජන්දයක් ආරම්භ වෙද්දිම හරි අවසන් වෙද්දිම හරි හැමදාම ආහාරවල වඳ පෙති, වඳ යට ඇඳුම් ප්‍රශ්නය උඩට එනව. මිනිස්සුත් අඩුම ගාණෙ ලෝකෙ එහෙම යමක් තියෙනවද, අපේ රටේ යමක් තියෙනවද, වෛද්‍යවරු සහ පාරිභෝගික කටයුතු පිළිබඳව බලධාරීන් කියන්නේ කුමක්ද යන්න සොයා බලනව වෙනුවට කාගෙ හෝ පටු දේශපාලන, ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මෝඩයාට ඇන්ඳෙනව.

ඒ එක්කම එන සටන් පාඨ තමයි අපි මුස්ලිම් කඩ වර්ජනය කරමු, මුස්ලිම් ජාතීන් එලවා දමමු වගේ දේවල්. නමුත් එහෙම යම් සැක කටයුතු යමක් හමු වුණාය කියල පහුගිය කාලය පුරාම ප්‍රචාර සිදුවුණත් තාම එහෙම දෙයක් ඇහින් දැකපු කෙනෙක් හෝ ඒක විද්‍යානුකූලව හෝ නීත්‍යානුකූලව ඔප්පු කරපු කෙනෙක් නෑ. ලෝකයේ කොහේවත් ආහාරවලට එකතු කරල එවැනි වන්ධ්‍යාකරණයකට ලක්කරන්න පුලුවන් ඖෂධයක් නැති බව වෛද්‍යවරු කිව්වත් කවුරුන් හෝ නිර්නාමිකයන් පිරිසක් වපුරන අසත්‍ය විශ්වාස කරමින් ඒවා පසුපස දුවනව. මේ අසත්‍ය සහ මිත්‍යාව නව තාක්ෂණය ඔස්සේ බෙදා හරින තරුණ පිරිස් අඩුම ගානෙ අන්තර්ජාලයේ එවැන්නක් තියෙනවද කියල හොයන්නවත් කිසිම උත්සාහයක් නොගන්න තරම්.
අම්පාර ප්‍රදේශයේ හෝටලයක කොත්තු රොටිවලට එහෙම වඳ බෙහෙත් දාල තිබුණාය කියන සැකයක් උඩ කලබගෑනියක් සිදුවුණේ පහුගිය දවසක. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලියකට පහර දීලා ජාතිවාදීව හැසිරෙන පිරිස්වල මූලිකම සටන් පාඨ බවට පත්වුණේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම. අනෙක් අන්තයෙන් මේ වගේ මත නිර්මාණය කිරීම ආරම්භ කළේ චීවරය දරාගෙන දේශපාලනය කරපු සමහර කණ්ඩායම්. බෞද්ධ දර්ශනය වෙනුවට ඒ අය ව්‍යාප්ත කළේ තවත් ජාතියක් සමූල ඝාතනය කරන්න, පන්නා දමන්න, හෝ අවුලවාගන්න පුලුවන් අශිෂ්ට වාග් ප්‍රලාප පමණයි. ඒවාට සම්බන්ධ වුණු සමහර චීවර ධාරීන් විවාහපත් උදවිය වගේම නීතිවිරෝධීව ගිහි සහ පැවිදි නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් ළඟ තබාගෙන අත්අඩංගුවට පත්වෙලා ඉන්න උදවිය. එක්කො බීල වාහන එලවපු අය. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික කියල නෑ කොයි පැත්තෙත් ජාතිවාදීන් සහ පටු ආගම්වාදීන් විද්‍යාව වෙනුවට, සහයෝගය වෙනුවට හැමදාම තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් මහජනතාව භේද බින්න කළේ මේ විදියට. පාලකයන්‍ට ඕන වුණෙත් රටේ ඇත්ත ප්‍රශ්න වෙනුවට මේ වගේ දේවල්. අන්තිමට ලේ හලන්නෙත්, බේද බින්න වුණෙත්, මෝඩයාට ඇන්දුනෙත් මහජනතාවමයි.

අම්පාර සිදුවීමත් එක්ක විවිධ තරාතිරම්වල උදවිය තම තමන්ගෙ මත පළකරල තිබුණා. එක්තරා තරුණ වෛද්‍යවරයෙක් අපූරු කරුණු කීපයක් තමන්ගෙ ෆේස්බුක් පිටුවෙ පළ කරල තිබුණා. මේ කියන වන්ධ්‍යාකරන පෙති හමුවුණොත් කරන්න ඕන දේවල් කීපයක් තමයි එහෙම පළ කරල තිබුණේ. 
එවැනි ඖෂධයක් හමු වුණොත් වහාම ඖෂධ සමාගමකට හඳුන්වල දීලා ඒකෙන් ලොකු මුදලක් හම්බ කරන්න පුලුවන් කියලා වගේ හාස්‍යජනක කතා කීපයක්ම ඒකෙ තිබුණා. ඒ වගේම එවැනි කෑමක් හමු වුණොත් දඩාවතේ යන සුනඛයන්ට, පංසලට ගිහින් දමන බළලුන් වගේ සතුන්ට දෙන්න කියල ඔහු සඳහන් කරල තියෙන්නෙ එයින් ඒ සතුන්ට වන්ධ්‍යාකරන ශල්‍යකර්මවල වේදනාවත්, රජයේ වියමුත් අඩු කරන්න පුලුවන් වෙයි කියල. ඇත්තටම ඒ කතාව මේ මිත්‍යාවන් විශ්වාස කරන පිරිස්වලට හාස්‍යජනක පිළිතුරක් වගේම එහි පිටිපස්සෙ තියෙන්නෙ ඇත්තක්. ලියුම්කරු කොළඹ මහ නගර සභාවෙන් ලබාගත්තු තොරතුරු අනුව, 2017 අවුරුද්දෙ ජලභීතිකා නිවාරණයට සුනඛයන් වන්ධ්‍යාකරනය කිරීම ඇතුළු සේවා වෙනුවෙන් මිලියන 15ක් වියදම් කරල. ඉතින් වන්ධ්‍යාකරන බෙහෙත් කොත්තු රොටිවලට දාන්න තියෙනව නම්, එහෙම ඖෂධයකුත් දාල කොත්තුවක් අඩු මිළට දෙන්නත් පුලුවන් නම් මේ රටේ දඩාවතේ යන සුනඛයන්ට යන වියදම් විතරක් නෙමෙයි රටේ සියලුම රෝහල්වල සිදුකෙරෙන පවුල් සෞඛ්‍ය සේවා කටයුතු වියදම් බිලියන ගණනින් ඉතුරු කරගන්න පුලුවන්.

මේ ජාතිවාදී සහ මිත්‍යා කතාවල අනික් පැත්ත බලන්න ඕන. මේ අන්තවාදීන් කියන්නෙ රටේ මුස්ලිම් ජනගහනය වැඩිවෙලා කියලා. නමුත් සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න පුලුවන්කමක් නෑ. ඇත්තටම අපේ රටේ වඳව යෑමේ තර්ජනයට මූණ දීලා ඉන්නෙ දෙමළ ජනතාව. අනෙක් කාරණය තමයි මුස්ලිම් ප්‍රජාවගේ සියල්ල වර්ජනය කරමු කියන කාරණාව. එහෙම වර්ජනය කළොත් හරි ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අපිට සම්බාධක පැනෙව්වොත් හරි වෙන දේ ගැන මේ අයට අවබෝධයක් නැති බව පැහැදිලියි. අපේ රටේ එකම තෙල් පිරිපහදුව 70 දශකයේ හැදුවෙ ඉරාන රජයෙන්. අදටත් අපේ රටේ සියලුම වාහනවලට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් සපුරාලන්නෙ මේ ඉරානියන් ලයිට් කියන බොර තෙල්වලින් පිරිපහදු කරපු ඉන්ධන වලින්. විදේශ විනිමය උපයා දීම අතින් හරිහමන් නිෂ්පාදනයක් අදටත් මේ රටට නැහැ. මහා ප්‍රෞඪ ඉතිහාසයක් ගැන කියමින් විතරක් රට ගැන කතා කරන, බොරු වපුරන අයට වැඩපිළිවෙළක් හෝ දැක්මක් නැති වෙලා තියෙද්දි මෙරටට ඩොලර් උපයා දෙන කර්මාන්ත අතරින් අංක එක ස්ථානයේ ඉන්නෙ විදේශ ශ්‍රමිකයින්. 2015 අවුරුදෙ විතරක් විදේශ ශ්‍රමිකයන් විසින් උපයපු මුදල රුපියල් මිලියන 948,975ක මුදලක්. ඒ කියන්නෙ මේ රටේ සම්පූර්ණ අපනයනය ආදායමෙන් 66.56%ක ප්‍රතිශතයක්. මුදලින් ගණනය කළොත් රුපියල් මිලියන 512,437ක මුදලක්. මුදල් අතින් එහෙම වෙද්දි ඒ මුදල් හොයල දෙන්න වෙහෙසෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් 54%ක්ම සේවය කරන්නෙ මැදපෙරදිග මුස්ලිම් ‍රටවල. මේ වගේ තවත් උදාහරණය කප්පරක් කියන්න පුලුවන්.

පටු දේශපාලන සහ ජාතිවාදී මුස්ලිම් විරෝධයත් එක්ක උඩ තියෙන උදාහරණ දෙකම ඇති ඕනෑම නූගතෙකුට වුණත් මේ කරමින් ඉන්න බරපතළ කාරණය තේරුම් ගන්න. මේ ආණ්ඩු බලය ලබාගත්තෙම සුළු ජාතීන් කියන අපේම ශ්‍රී ලාංකික අනෙකුත් සහෝදර ජනතාවට ඔවුන්ගේ නිදහස සහ සමානත්වය ලබල දෙනව කියන පොරොන්දුව උඩ. සිංහල - බෞද්ධ කියන්නෙත්, මුස්ලිම් හෝ දෙමළ කියන්නෙත් හෝමෝ සේපියන් කියන භෞතික හා ජානමය ලක්ෂණ තියෙන එකම රටක මිනිසුන්ට කියන එක පාලකයො බෙදල වෙන් කරන්නෙ ඔවුන්ගෙ පාලනයන් පහසුවෙන් කරගෙන යන්න. යහපාලනය බලය ලබාගන්න පෙන්නුවෙ පහුගිය පාලන සමයෙ වුණු අලුත්ගම ඛේදවාචකය. ඒත් යහපාලනය ඇතුළෙ. ගිංතොට සිදුවීම වගේම දැන් අම්පාරෙත් සිදුවීමක් වෙලා. සංහිඳියාව වෙනුවෙන් අමාත්‍යංශයක් තිබෙද්දිත්, ජාතිවාදී පදනමෙන් යුතු කාරණා මැඩ පවත්වන්න නව නීති තියෙද්දිත් තවදුරටත් මේ වගේ මිලේච්ඡ සිදුවීම් වෙනව නම්, මේවට නිර්වින්දනය වෙලා අවිද්‍යාවෙන් අපේම සහෝදර ජාතියකට පහර දෙනව නම් තවත් යුද්ධයක් අත ළඟ බව පැහැදිලියි.



කසුන් පුස්සෙවෙල

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...