Sunday, February 18, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු.... දේශපාලනික කාල... බෝම්බයකි....·

2018 පෙබරවාරි මස 17.

මේ මොහොත වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු දේශපාලනික කාල බෝම්බයකි. ඒ මන්දයත් මීළඟ ජනාධිපතිවරණයේදී හෝ ඊට පෙර ඔහු තමා වටා සිටින කිහිපදෙනාත් සමග නිසැකවම පුපුරා යන නිසාය.

"මම තමයි ජනවාරි 8 සුපර් මෑන්, මිනිස්සු ජනවාරි 8 ඡන්දය දුන්නෙ මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න⁣ටය" යනාදී වශයෙන් ජනාධිපතිවරයා ස්වයංව හෝ කාගේ හෝ ඉගැන්නුම් බහට එළඹ සිටින සාවද්‍ය වූ නිගමනයන් නිසා ⁣ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු ලංකාවේ මැන්ඩෙලා වෙන්නට සිටි ඔහු නිකම්ම "කනවැන්දුම් බංඩලා" විය.

ජනවාරි 8 ජයග්‍රහණයේ සිරිසේන ජනාධිපතිවරයාගේ දායකත්වයේ කෝටාව කෙතෙක්දැයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සංඛ්‍යාත්මක අගයක් ලෙසම මැනවින් පෙනුණි. එය ජනාධිපතිවරයාට කෙතරම් තෘප්තිදායක වී තිබේදයත් එම ප්‍රතිඵල නිකුත් වූ පසු මාධ්‍ය ඉදිරියට එන්නට ධෛර්ය උපදවාගන්නට ජනාධිපතිවරයාට තවමත් හැකිවී නැත. තමා සිතන තරම් තමා පොරක් නොවන බව තමාටම අවබෝධ වන අවස්ථාව එක අතකින් ආනන්දජනකය

මේ තත්වය නිසා ජනාධිපතිවරයා දැන් එකඟතාවයකට එන්නේ යම් පාර්ශවයක් සමඟද එම පාර්ශවය එක්කෝ 2020දී තමන්ගේ අපේක්ෂකයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ සිහිනය අතහැර සිරිසේන ජනාධිපතිවරයාට සහය දීමට හිත හදාගත යුතුය. නැත්නම් තමන් ඉදිරිපත් කිරීමට සිතා සිටින අපේක්ෂකයාට සහය පලකොට තමා විසින්ම තමාම කප්පාදුවට ලක්කර ගැනීමට සිරිසේන ජනාධිපතිවරයාව එකඟ කරගත යුතුය. මේ එකගතා දෙකෙන් එකකට නොඑලඹී සිරිසේන ජනාධිපතිවරයා සමඟ දේශපාලන සහයෝගීතාවයකට එළැඹීම යනු එසේ එකඟතාවයකට එළඹෙන කණ්ඩායම නිසැකවම වසර දෙකක කාලයක් ඇතුලත දේශපාලන වශයෙන් පුපුරා යාමට ලක්වීමය.

කුමන කතා කිවුවද ඒකාබද්ධ විපක්ෂය මේ යථාර්ථය දැක ඇති බවක් පෙනෙන්නට ඇත. සුසිල් ⁣පේමජයන්ත අමාත්‍යවරයා නගුට ගිණිතබාගත් හනුමා සේ කෙතරම් නැටුවද වෙහෙස මහන්සි වුවද ජනාධිපති සිරිසේන සමග ඩීල් දමා ආණ්ඩු බලය බලාපොරොත්තු වූවාට වඩා වසර දෙකකට පෙර ලබාගැනීමට (අමුවෙන් ගෙඩිය කඩාගැනීම) ඒකාබද්ධය හදිසියක් නොපෙන්වන්නේ මෛත්‍රීපාල සිරිසේන යනු මේ මොහොතේ දේශපාලන බෝම්බයක්ය යන ඉහත කී යථාර්ථය ඔවුන්ගේ න්‍යයාචාර්යවරයන් මැනවින් වටහාගෙන ඇති නිසා විය යුතුය. ඇතැම් අවස්ථා වලදී තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිකරන්නේනම් එයට සහය දෙන නමුත් තනතුරු වගකීම් කිසිවක් භාර නොගන්නා බව පවසන්නේද මෙම යථාර්ථය වටහාගෙන ඇති නිසාමය.

එජාපයද ජනාධිපතිවරයා සමග පවත්නා ඩීල් එක දිගුකිරීම යනු නියත වශයෙන්ම දිගින් දිගටම අප්‍රසාදයට පත්වන මාවතකට පිවිසීමකි. මන්ද ගතවූ තෙවසරක යහපාලන ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග ජනාධිපතිවරයාගේ ගැටුම උත්සන්න වීම ඉදිරි වසර දෙක තුල අනිවාර්ය බැවිනි. ජනාධිපතිවරයා රජයේ ඇතැම් ප්‍රතිපත්ති හදිසියේ මැදිහත් වී වෙනස්කරන "අසිපත අතගත් අසරුවා සෝරෝ" වැනි භූමිකාවකට පණපෙවීමට තැත් කිරීම මගින් රජය මෙන්ම තමාවද විහිළුවට සහ හෑල්ලුවට ලක්කරගන්නා අවස්ථා ඉදිරියේදී අධික වනු ඇත.

එබැවින් 2020 ජනාධිපතිවරණයේදී තම පක්ෂය ජයග්‍රහණය කරවාගන්නට යම් පක්ෂයක් කල්පනා කරන්නේ නම් ඔවුන්ට මේ අවස්ථාවේ ගතහැකි හොඳම දේශපාලන උපක්‍රමික තීරණය නම් සිරිසේන ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගැනීම මගින් ඔහු සමග දියබත් වීමේ අවදානමට මුහුණදීම නොව ඔහුගෙන් හැකිතාක් ඈත් වීමය. එ් සඳහා ඉදිරි වසර දෙක තුල විපක්ෂය බවට පත්වීමට සිදුවුවද එවැනි පසුබැසීමකින් සිදුවන්නේ යහපතක්මය.

ඒ අනුව රට මෙන්ම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකද අතිශය තීරණාත්මක අවස්ථාවකට මුහුණදී සිටින්නේය. ගිලෙන්නේ කවුද යන්න ඉදිරි සතිය දෙක තුල ප්‍රත්‍යක්ෂ වශයෙන්ම බලාගත හැකිවනු ඇත.

Athila Athauda

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...