Wednesday, February 7, 2018

”ජනාධිපතිගේ කතාව පිලිගන්නවා; එජාපය ඉහලින් ම දිනවමු” ....රවී කරුණානායක....


2018 පෙබරවාරි මස 07.

දූෂණ විරෝධී මත ශක්තිමත් කිරීම හා ඒ මතය ක්‍රියාත්මක කිරීම රටක අනාගත සංවර්ධනයේ ආත්මාරක්ෂාව බවත්, මුල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 70වන නිදහස් දිනයේ ජාතිය අමතා ප්‍රකාශ කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය ඉහලින්ම පිළිගන්නා බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මන්ත්‍රීවරයා අද (06) එබව සඳහන් කලේ, මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

බැඳුම්කර සිද්ධිය තුලින් මන්ත්‍රීවරයෙක් ලෙස, පුද්ගලයෙක් ලෙස තමාට මුහුණ දීමට සිදුව ඇති අනිසි බලපෑම් සම්බන්ධයෙන් දීර්ග කරුණු පැහැදිලි කිරීමක් කල මන්ත්‍රීවරයා, මේ විනාශකාරී දේශපාලනය තුල ලංකාවේ ඉන්න එකම පව්කාරයා, එකම අපරාධකාරයා බවට තමාව පත් ක‍රන දේශපාලනයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බවත් එය අදටත් ක්‍රියාත්මක වන බවත් කියා සිටියේය.

එකම පව්කාරයා මම ද ?

බැඳුම්කර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.

”මං හිතනවා මාස දහයක් තිස්සේ මටත් පවුලේ උදවියටත්, එක්සත් ජාතික පක්ෂයත් පව්කාරයා ලෙස සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? මාව පව්කාරයා කරලා, කුරුසිය කරේ තියලා, කල්වාරි කන්ද නග්ගන විදිහට මාධ්‍ය සංදර්ශන පැවැත්වුයේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුළ සිදුව ඇත්තේ කන්දක් විළිලා මීයෙක් වැදුවා වැනි දෙයක් නොවේද?

ගරු කථානායකතුමනි, මෙය පුදුම එලවන ප්‍රකාශයක් නොවේද? මොවුන් මාස 10ක් බලාසිටියේ මේක කියන්නද? ඔහු විමසා සිටියේය.

එජාපය දිනවා පිළිතුරු දෙමු :

අවසානයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන් ගෙන් මෙසේ ආයාචනයක් කර සිටියේය.

”මම රටේම ඉන්න අපේ UNP පාක්ෂිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ 2018 පෙබරවාරි 10 දින උදෙන්ම ජන්ද පොලට ගිහින් ඔබේ ගම , ප්‍රදේශය දියුණු කල හැකි UNP ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් පත් කරන්න , එමගින් එක්සත් ජාතික පක්ෂය දිනවන්න, යහපාලන ආණ්ඩුව ශක්තිමත් කරන්න ඔබේ වටිනා ජන්දය පාවිච්චි කරන්න කියලා.”

රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව අමතා කල සම්පුර්ණ කතාව පහත පළවේ.

ගරු කථානායකතුමනි,

මහජනතාවට හා රටට අහිමි වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා ආර්ථික දියුණුව ස්ථාපිත කරන්න ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපාලකයෙක් හැටියට, ඒ වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම 2015 ජනවාරියේ අලුත් ජනාධිපතිවරයෙක්, 2015 අගෝස්තු මාසයේ සම්මුතිවාදී, යහපාලන ආණ්ඩුවක් බිහි කරන්න මුල්වූ කෙනෙක් හැටියට අද මේ ගරු සභාව අමතා කතා කරන්න ලැබීම සතුටක්.

තෝරගත්ත යම් දූෂණ කිහිපයක් පිළිබඳව කරන ලද විමර්ශන පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති කොමිසම් වාර්තා දෙකක් අපි අද විවාදයට අරගෙන තිබෙනවා. කුමන තත්වයක් යටතේ වුවත් මා ඉතා සතුටුවෙනවා මෙසේ යහපාලන මුලධර්ම අඩු පාඩු සහිතව හෝ ක්‍රියාත්මක වීම ගැන.

යහපාලනයක අවශ්‍යතාව:
මම මුලින්ම මේ ගරු සභාවේ අවධානයට ලක් කරන්න කැමතියි. අපි මේ ඉන්න සමාජයේ අර්බුද නිර්මාණය වීම ගැන වගේම යහපාලනයක අවශ්‍යතාව පිළිබඳව.

71- 89 දකුණේ අර්බුද වගේම 83 ඉදලා අවුරුදු 30 ක් උතුරේ අර්බුද වලට ලක් වෙලා සමස්ථ සමාජයම භයානක තත්වයකට පත් වුණා. මේ නිසා සමාජය තුළ ප්‍රචණ්ඩත්වය, දුෂණය, වංචා, නාස්තිය, අපේක්ෂා භංගත්වය, අවිනිශ්චිතභාවය, වගේම සමාජයට අහිතකර බොහෝ දේවල් සමාජගත වුණා.

හිංසනය ප්‍රචණ්ඩත්වය සමාජයේ කොටසක් බවට පත් වුණා.

මේ යුගය තුල මහජනතාවගේ දුප්පත්කම නැති කරන්න, රටේ ආර්ථික සමෘධිය ඇති කරන්න, යටිතල පහසුකම් බිහිකරන්න තිබු වටිනා අවස්ථා අපට අහිමි වුනා. මේ තත්වය සමග පටු දේශපාලන චින්තනයන් හා ක්‍රියාකාරිත්වයන් බලවත් වෙලා සමාජය ඉතාම භයානක හා විනාශකාරී තත්වයකට පත්වෙලා තිබුනා.

ඒ වගේම අපි නොහිතපු විදිහට අපේ මැතිවරණ ක්‍රමයත්, ඒ තුළ ඇතිවූ අනවශ්‍ය වියදම් වගේම තරගයත් අපේ සමාජය තවදුරත් නරක තැනකට ගෙන ආවා.

යුධ ජයග්‍රහණ සමග නිර්මාණයවූ ඒකාධිපති හා පවුල් පාලනය මේ තත්වය තවදුරටත් භයානක හා නරක තැනකට ගෙන ගියා.


දුෂ්කර අරගලයක පුරෝගාමීන් :

මේ තත්වය වෙනස් කරන්න අභීත නායකත්වයක් වගේම ජිවිත පුජාවෙන් අරගල කරන්න අවශ්‍ය වුනා, අපි එහි පුරෝගාමීන් වුනා. එය පහසු කටයුත්තක් වුනේ නැහැ. ඒ දුෂ්කර අරගලය අවසානයේ අපි ජය ගත්තා..

මේ සමාජය තුළ යුක්තිය හා සාධාරණත්වය ඇති කරන්න, සංහිඳියාව ඇති කරන්න, දුෂණ හා වංචා නැති කරන්න, ආර්ථිකය දියුණු කරලා, රටේ කීර්තිනාමය ගොඩනගන්න අපි නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න 2015 ජනවාරි 8 අත්තිවාරම් දැම්මා. ඒ ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා.

එය මුල් පියවර පමණයි. අප විසින් ඉටුකළ යුතු බොහෝ දේවල් තිබෙනවා. එම ජනතා අපේක්ෂා අපි කෙසේ හෝ ඉටුකළ යුතුයි. අඩුම වශයෙන් පොරොන්දු වූ දේ ඉටු කිරීම ජනතාව අපේක්ෂා කරන යහ පාලනයයි. එය අප ක්‍රියාවෙන් ඉටු කල යුතුයි.

ජනාධිපතිතුමාගේ අරමුණ පැහැදිලියි :

ගරු ජනාධිපතිතුමා, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 70 වන නිදහස් දින සමරුවේදී ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කරනවා . දූෂණ විරෝධී මත ශක්තිමත් කිරීම හා ඒ මතය ක්‍රියාත්මක කිරීම රටක අනාගත සංවර්ධනයේ ආත්මාරක්ෂාව බවත්, මුල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙන බවත් එතුමා ජාතිය අමතා ප්‍රකාශ කළා.

සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා දූෂණය, අල්ලස, හොරකම සහ නාස්තිය පිටු දැකීමට තම මාතෘභූමිය පෙළගැසී සිටින බවද එතුමා ප්‍රකාශ කළා. මමත් ඒ වගේම අපේ පක්ෂයත් මේ ප්‍රකාශය ඉතා ඉහලින් අගය කරනවා .

මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් එයමයි. අවුරුදු 70ක් පුරා මේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ, බොරුව රජ කරවන දේශපාලනය වෙනුවට, ඇත්ත දිනවන, සාධාරණත්වය දිනවන දේශපාලනයක්.

ඒ සඳහා ජනාධිපතිතුමා ප්‍රකාශ කළ විදිහට රට දිනවන සමාජ ව්‍යාපාරයක් බිහි කරන්න අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා.

බැඳුම්කර අර්බුදය සමාජ ක්‍රමයේ පිළිබිඹුවක් :

බැඳුම්කරය පිළිබද ගැටලුව මේ ආණ්ඩුවේ හෝ පසුගිය ආණ්ඩුවේ ගැටළුවක් නොවේ. මා කලින් පැවසූ හේතු නිසා දුෂණය, සංස්කෘතියක් වූ රටක් වෙනස් කිරීම පිලිබදව අර්බුදයකි.

අද මම සතුටු වෙනවා රාජපක්ෂ සමයේ සිදුවූ බරපතල ගණයේ දූෂණ වංචා පිළිබඳ සෙවීමට අදාළ කොමිෂන් වාර්තාවට සීමා නොවී යහපාලන ආණ්ඩුව වෙත එල්ලවූ චෝදනාවක් සම්බන්ධ ජනාධිපති කොමිසමක වාර්තාවක් සම්බන්ධවද විවාද කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදීමට හැකිවීම ගැන. ඒ වගේම භාවිතය තුළ එය ඔප්පු කිරීමට හැකිවීම ගැන.
කොහොම නමුත් මේ බැඳුම්කර අර්බුදය මැතිවරණ සමයකදී පවා රට එක තැනක නවත්තන්න, පල්කරන්න යොදා ගන්න සිදුවීම, සැබවින්ම කණගාටුදායක තත්ත්වයක්. ඇත්තටම අවුරුදු තුනක් බැඳුම්කර ගනුදෙනුවක රට නැවතුණා වගේ බවකුයි පෙනෙන්න තියෙන්නේ.

බිලියනයට හරි ට්‍රිලියනයට හරි බිංදු කීයද කියලා නොදන්නා අය පවා අද බැඳුම්කරයේ සිදුවූ පාඩු ගැන බිලියනවලින් හා ට්‍රිලියන වලින් කියවනවා.

ඒ සමහරු බැඳුම්කරයක් කියන්නෙ මොකක්ද? මොකක්ද ඒ ක්‍රියාවලිය, එහි රජයේ කොටස මොකක්ද? ප්‍රාථමික වෙළඳපොල හැසිරෙන්නෙ කොහොමද? ද්වීතියික වෙළඳපොල තුළ සිදුවන්නේ මොකක්ද? මේ වගේ මුලික කාරනා පවා නොදන්නා බව පැහැදිළියි.

මම පැහැදිලිව කියනවා දුෂණ තියෙනවා නම් බැදුම්කරේ පමණක් නොවේ සියලු දුෂණ ගැන හොයන්න ඕන, දඩුවම් කරන්න ඕන.

දුෂණ නැතිකළ පමණින් රටේ සියලු ප්‍රශ්න විසදන්න බැහැ:

දුෂණ වලට එරෙහිවීම පසුගිය මැතිවරණ වල ලංකාවේ පමණක් නොව දියුණු නැති බොහෝ රටවල ප්‍රධාන මාතෘකාවක් වෙනවා. අපේ රටේත් පසුගිය දශක කිහිපයක්ම ප්‍රධාන මාතෘකාව වුනේ දුෂණය. නමුත් දුෂණය දිගටම තිබෙනවා .

එත් හැමෝම, හැම මට්ටමින්, හැම විටම දුෂණ ගැන පමණක් කතා කරලා , ඒ මත අපේ දේශපාලනය කරන එකයි අර්බුදය. ඒ තුල නිර්මාණය කරනු ලබන මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයි ගැටලුව.

දුෂණ ගැන කතා කරලා පමණක් යහපාලනය ලබා ගන්න, සංහිදියාව ඇතිකරන්න, යටිතල පහසුකම් ලබා දෙන්න, රැකියා උත්පාදනය කරන්න, FDI ලබා ගන්න, ජාත්‍යන්තරය දිනාගන්න, ආර්ථික සමෘධිය ලබා ගන්න බැහැ.

හැබැයි දුෂණ අඩුකරන කරන එක යහපාලනය. එය මේ සියලු දේ ලබා ගන්න වැදගත් වනවා…හැබැයි දුෂණ නැතිකළ පමණින් රටේ සියලු ගැටළු විසදන්න බැහැ.

අපි දුෂණ හොයන එක ඒ අදාල ආයතන වලට බාර දීලා මේ අපේ දුක්විදින මිනිස්සුන්ගේ ගැටළු විසදන්න, 70 වසරක් අපි මුහුණ දුන් අර්බුද විසදා ගන්නේ කොහොමද කියලා හොයල බලන්න ඕනේ.

ඒ වගේම සමාජය මෙතරම් ප්‍රචන්ඩ ඇයි? දුෂිත ඇයි ? කියලා , ඒවට හේතු හොයල පිළියම් යොදන්න ඕනේ. එහෙම නැතුව දුෂණ, දුෂණ කියල කතා කර හිටියට මේ අර්බුද විසදන්න බැහැ . මේකට විද්‍යාත්මකවූ කළමනාකරණ ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා

සාධනීය දේශපාලන ප්‍රවේශයක්:

පසුගිය මාසයේ පත්තර ටීවී බලන්න. මොනවද කතා කරලා තියෙන්නේ. මොනව ද සාධනීය constructive දේවල් කතා කරලා තියෙන්නේ. දැන් අපිට නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගන්න ඕනේ වෙලා තිබෙනවා.

මේ distructive politics වලට තිත තියන්න ඕනේ.

අලුතින් හිතන්න ඕනේ. සංවර්ධනය පිලිබඳ ප්‍රවේශයක් අවශ්‍යයි.

නායකයින් විනාශකරන කුහක දේශපාලනය වෙනුවට නායකයින් තනන යහපත් දේශපාලනයක් බිහි කරන්න ඕනේ.

කොටින්ම constructive political approach එකක්, සාධනීය දේශපාලන ප්‍රවේශයක් අද අපිට අවශ්‍ය කර තිබෙනවා.

එකම පව්කාරයා මමද ?

මන්ත්‍රීවරයෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට මට මුහුණ දෙන්න සිදුවෙළා තියෙන්නේ විශාල අර්බුදයකට.

ඒ තමයි මේ විනාශකාරී දේශපාලනය තුල ලංකාවේ ඉන්න එකම පව්කාරයා, එකම අපරාධකාරයා බවට මාව පත් ක‍රන දේශපාලනයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වීම. එය අදටත් ක්‍රියාත්මක වෙනවා.

යහපාලන සම්මුති ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව කරුවකු ලෙස එක්සත් ජාතික පක්ෂයටත් මේ තුල පහර දෙන්න කුමන්ත්‍රණ සිදු වෙලා තිබෙනවා.

මට කෙතරම් මඩ ගැහුවත්, එක්සත් ජාතික පක්ෂයට කොතරම් අවලාද නැගුවත් මම හිතනවා මේ තත්වය මොන අඩුපාඩු තිබුණත් යහපාලනය වෙනුවෙන් අපි ගත් උත්සාහයේ ප්‍රතිපල කියලා.

● මේ තුළ රටේ දේශපාලකයින්, රටේ නිලධාරීන් වගේම ජනතාව යහපාලනය වෙත වඩාත් නැඹුරු වෙනවා.

● වැරදි කරපු අයට දඩුවම් ලැබෙනවා.

● වැරදි කරන්න බය වෙනවා.

● ඒ වගේම වැරදි අඩුපාඩු වගේම හොරකම් කරන්න අමාරු වෙන පද්ධති හා ක්‍රම වේද සකස් කරන්න අපි සියලු දෙනා උත්සහ ගන්නවා.


පක්ෂ මරු කර රැකවරණ ලබාගැනීම :

ගරු කථානායක තුමනි,

මෙම කොමිසම් වාර්තා දෙකම ගැන අපි කතා කළ යුතු වෙනවා. මුලින්ම බැදුම්කර කොමිසම ගැන හා ඒ තුල මා සම්බන්ද කර ගැනීම ගැන කතා කරන්න කැමතියි.

බැදුම්කර කොමිසමේ කටයුතු වලට මාගේ නම පටලවපු දවසේ සිට මෙම කොමිසමේ වාර්තාව ද එළිදකින තුරු මම සිටියේ නොඉවසිල්ලෙන්.

මම නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් ඇමැතිකමින් ඉල්ලා අස්වුනේ මේ රටේ දේශපාලනයට නව ප්‍රවේශයක් ලබා දෙන්න.

බොහෝ අය මෙවැනි අවස්ථාවල බලවතුන්ගේ රැකවරණය ලබා ගෙන පක්ෂ මරු කරලා ආරක්ෂා වෙනවා.

මගේ ප්‍රවේශය වුණේ අභියෝගයට මුහණ දීම. සත්‍ය කවදා හෝ ජයගන්නවා, බොරුවට ආයුෂ නැහැ. ඒ හින්දා මම තනිවම මේ යුක්තිය වෙනුවෙන් සටන් කරන්න තීරණය කළා.

අද එහි යම් ජයග්‍රහණයන් අපි ලබා ගනිමින් සිටිනවා. සත්‍ය යම් පමණකට හෙළිදරව් වෙමින් පවතිනවා. මං එකින් එක ඒ ගැන පෙන්වා දෙන්නම්.

නොපෙනෙන බලවේගයක කුමන්ත්‍රණයක් :

ජනාධිපතිවරයා විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසම පත්කරනු ලැබුවේ 2017 ජනවාරි 27 වනදා. එහි විමර්ශන කටයුතු එම වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කෙරුණා.

පසුව එම කොමිසම මාස 10 ක පමණ කාලයක් සිදුකළ විමර්ශන කටයුතු වලින් අනතුරුව සකස් කළ වාර්තාව, 2017 දෙසැම්බර් මස 30 වන දින ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබුවා.

එම වාර්තාව ඇසුරෙන් සකස් කළ කෙටි වාර්තාව, විශේෂයෙන් මා දේශපාලන වශයෙන් විනාශ කිරීමට ඉලක්කත් සහිතවූ මේ වාර්තාව 2018 ජනවාරි මස 3 වන දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලෙස කියවනු ලැබුවා.

මේ ප්‍රකාශය පිළිබඳව මමත්, මගේ පවුලත්, හිතවත් පාක්ෂකයිනුත් අතිශය විමතියට හා කම්පාවට පත් වුණා. ඒ සමගම අපිට මේ විකෘති කළ කරුණු පරදවලා සත්‍ය ජයගැනීමට සටන් කරන්න පුදුම ශක්තියක් ලැබුනා.

මේ අනුව මේ වාර්තාවේ නිර්දේශ හා උක්ත ප්‍රකාශය අතර පරතරය පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කළා.

ඊලගට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත්කරන්න උත්සහ කළා. එයත් කිසියම් නොපෙනෙන බලවේගයක් වැන්නක් හමුවේ වැළකී ගියා.

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය :

ජනාධිපතිතුමා එම ජාතිය අමතා කල ප්‍රකාශයෙහි මා සම්බන්දව කරන ලද කොටස තුළ මෙසේ සදහන් වෙනවා.

“ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබු වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්දයෙන් නඩු පැවරිය යුතු බවත් මෙම වාර්තාවේ සදහන් වෙනවා.”
එහි මුලික කරුණු කිහිපයක් සදහන් වනවා.

නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා.
ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්
ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්දයෙන් නඩු පැවරිය යුතු බවත් මෙම වාර්තාවේ සදහන් වෙනවා
මේ නිසා මේ වාර්තාව පිළිබඳව සත්‍ය තත්වය දැනගන්න මට ඕනෑ වුණා.

තොරතුරු අයිතිය (RTI) යටතේ මෙම වාර්තාවේ පිටපතක්

ඒ හින්දා මා විසින් 2018 ජනවාරි මස 5 වන දින තොරතුරු අයිතිය (RTI) යටතේ මෙම කොමිසම් වාර්තාව ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව 2018 ජනවාරි මස 17 වන දින මා හට ජනාධිපති කාර්යාලයෙන් මෙම වාර්තාවේ පිටපතක් ලබා ගන්නට හැකි වුනා.

වාර්තාවේ සදහන් කරුණු මොනවද කියලා අපි හොයලා බලමු .


මුදල් ඇමති ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස් දීම:

මුදල් ඇමති ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස් දීමේදී කිසිදු වරදක් කර නොමැති බව බැඳුම්කර කොමිසම පිළිගෙන තිබෙනවා.

බැදුම්කර ගනුදෙනුවලදී මා මුදල් ඇමති ලෙස කටයුතු කරමින් රාජ්‍ය බැංකු වලට උපදෙස් දීමෙන් රජයට විශාල පාඩුවක් කල බවට සමහර දේශපාලකයින් හා මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා. කරුණාකර බලන්න, කොමිසම් වාර්තාව ඒ ගැන කියා ඇති දේ. මම එම වාර්තාවේ, පිටු අංක 838 වෙත ඔබගේ අවධානය යොමු කරනවා. එහි මෙසේ සඳහන් වනවා.

We have earlier, concluded that, in view of the undesirably high Yield Rates which then prevailed, it was reasonable and justifiable for Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance, to wish to bring these Yield Rates down at these Treasury Bond Auctions. We have also taken the view that, since successive Governments have been known to use the state-owned People’s Bank, National Savings Bank and Bank of Ceylon to implement some policy measures and it is not per se irregular for a Government to do so, we cannot find fault with Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance for convening these meetings and giving the aforesaid instructions to the three State Banks.

මේ මගින් මුදල් ඇමති ලෙස මෙම අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල බව කොමිසම පිළිගෙන තිබෙනවා.
( it was reasonable and justifiable for Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance, to wish to bring these Yield Rates down at these Treasury Bond Auctions).

මිට පෙර තිබු රජයන්ද මෙය ප්‍රතිපත්තිමය ලෙස කර ඇති බව කොමිසම තවදුරටත් පිළිගෙන තිබෙන බැවින් මගේ කිසිදු වරදක් නොමැති බව කොමිසම තහවුරු කර තිබෙනවා.

(to implement some policy measures and it is not per se irregular for a Government to do so, we cannot find fault with Hon. Ravi Karunanayake)

එමෙන්ම මා හෝ මුදල් අමාත්‍යාංශය මේ ගනුදෙනු වලදී මහ බැංකුවට උපදෙස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් කොමිසම පිළිගෙන තිබෙනවා.

However, we have also earlier concluded that, there is no evidence before us which suggests that, Hon. Ravi Karunanayake, MP or the Ministry of Finance advised the CBSL that the aforesaid instruction had been given to the three State Banks.
ගරු කථානායකතුමනි,

එම වාර්තාවේ 838 පිටුවල මහ බැංකුව සහ බැඳුම්කර ගනුදෙනුව මාගේ යටතේ ක්‍රියාත්මක වන හෝ මගේ බලපෑම යටතේ ඇති ආයතනයක් නොවන බව පිළිගෙන තිබෙනවා.


මාගේ නීතිඥයන්ගේ නිගමන:

ඒ අනුව මාගේ නීතිඥයන් විසින් මෙම වාර්තාව පරිශීලනය කිරීමෙන් අනතුරුව පහත දැක්වෙන නිගමන වලට එළබි තිබෙනවා.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් හෝ වෙනත් අයකුට බෑදුම්කර මිලදී ගැනීම හා විකිණීම මගින් ලාභ ගැනීම සම්බන්දයෙන් මගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව බැඳුම්කර කොමිසම තහවුරු කර ඇති බව
මහ බැංකුව විසින් බෑදුම්කර විකිණීම හා/හෝ ප්‍රථමික වෙළෙඳුන් විසින් බෑදුම්කර මිලදී ගැනීමේදී කිසිඳු ආකාරයක නීති විරෝධී හා/හෝ නුසුදුසු ක්‍රියාවක මා නිරත වී වරදකරුවකු වී ඇති බව කිසිදු සාක්ෂියක් බැඳුම්කර කොමිසම වාර්තා කර නොමැති බව
නඩු පවරන්න කොමිසම නිර්දේශ කර නැහැ:

ගරු කථානායකතුමනි,

එම වාර්තාවේ පර්ච්චේද 33 නිර්දේශවලට වෙන් කොට තිබෙනවා. එහි පිටු අංක 921 සිට 922 දක්වා නිර්දේශ 30ක් දක්වා තිබෙනවා. ඉන් නිර්දේශ අංක 24 හා 25 (පිටු අංක 920 – 921) මා හා සම්බන්දයි. ඒ තුළ ඉංග්‍රීසි භෂාවෙන් දැක්වෙන නිර්දේශ 24 හා 25 පහත දක්වා තිබෙනවා.
අංක 24, පිටු අංක 920 – 921
24)
As stated earlier in Chapter 24, we recommend that, the Commission to Investigate Allegations of Bribery or Corruption should consider whether Hon. Ravi Karunanayake, MP, while he was Minister of Finance, derived a substantial benefit from the Lease Payments made by Walt and Row Associates (Pvt) Ltd [which is an Associate Company of Perpetual Treasuries Ltd and which is owned and controlled by the same persons who own and control Perpetual Treasuries Ltd] for the lease of apartment occupied by Hon. Ravi Karunanayake, MP and his family and, if so, determine whether appropriate action should be taken against Hon. Ravi Karunanayake, MP, under the Bribery Act;

අංක 2, සිංහල පරිවර්තනය

24) 24 වැනි පරිච්ඡේදයේ කළින් ප්‍රකාශ කර ඇති පරිදි, ගරු මන්ත්‍රී රවී කරුණානායක මුදල් ඇමතිවරයාව සිටියදී, ඔහු සහ ඔහුගේ පවුල පදිංචිව සිටි නිවාසය සඳහා බදු මුදල් ගෙවීම පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම හිමි සහ පාලනය කරන පුද්ගලයින්ටම අයත් අනුබද්ධිත සමාගමක් වන වෝල්ට් සහ රෝ ඇසෝෂියේට්ස් (පෞද්ගලික) සමාගම විසින් සිදු කිරීම මගින් ගරු රවී කරුණානායක මන්ත්‍රීවරයාට සැලකිය යුතු ප‍්‍රතිලාභයක් අත් වූයේ දැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විභාග කරන කොමිෂන් සභාව සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, ගරු රවී කරුණානායක මන්ත්‍රීවරයාට එවැනි සැලකිය යුතු ප‍්‍රතිලාභයක් අත් වූයේ නම්, අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව සුදුසු පියවර ගත යුතුදැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු.

අංක 25, පිටු අංක 921 සිට 922

25) As stated earlier in Chapter 24, we also recommend that, the Hon. Attorney General and other appropriate authorities consider whether some of the evidence given by Hon. Ravi Karunanayake, MP before us is shown to have been incorrect and, if that is the case, whether Mr. Karunanayake should be prosecuted under Section 179 and/or Section 188 of the Penal Code or other relevant provision of the Law, read with Section 9 of the Commissions of Inquiry Act No. 17 of 1948;

අංක 3 සිංහල පරිවර්තනය

25) 24 වැනි පරිච්ඡේදයේ කළින් ප්‍රකාශ කර ඇති පරිදි, ගරු රවී කරුණානායක මන්ත්‍රීවරයා අප ඉදිරියේ ලබා දුන් සාක්ෂිවලින් සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ දැයි ගරු නීතිපතිවරයා සහ අනෙකුත් අදාළ බලධාරීන් සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, එම සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ නම්, දණ්ඩ නීති සංග්‍රහයේ 179 සහ/හෝ 188 යන ඡේද අනුව හෝ අන් කිසියම් නීතිමය ප්‍රතිපාදන, සහ 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පනතෙහි 9 වැනි ඡේදය හෝ යටතේ කරුණානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතුදැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු.

ඉහත අංක 1 ලෙස මේ ප්‍රකාශයේ මා දක්වා ඇති ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මා පිළිබඳව කරන ලද සිංහල භාෂාවෙන් සදහන් කිරීමට පදනම් විය යුත්තේ, කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අඩංගු ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිච්ජේද 33 හා විශේෂයෙන් එහි අංක 24 හා 25 විය යුතුයි.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පදනම්වූ කරුණු සම්බන්දයෙන් කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ අංක 24 හා 25 අංක දරන ජේදයන් තුල පමණයි. එම ජේදයන් හී මා හට විරුද්දව අල්ලස් හෝ දුෂණ කොමිසම යටතේ නඩු පැවරිය යුතු බව හෝ අසත්‍ය සාක්කි දීමක් සම්බන්ධව නඩු පැවරිය යුතු බව කිසිම තැනක සදහන් වී නැහැ.

ඒ අනුව ඔප්පු වන්නේ කුමක්ද?

ඒ වගේම මං සඳහන් කරන්න කැමතියි ජනාධිපතිවරයා විසින් කොමිසම පත්කිරීමට අදාළව නිකුත් කළ (Mandate) අභිනියෝගයට අනුවත් මේ කාරනා කොහෙත්ම අදාළ නැති බව.

නමුත් අපව කොමිසමෙන් කැඳවනු ලැබුවා. යහපාලන සම්මුති ආණ්ඩුවේ නියම උරුමක්කාරයන් ලෙස අපි ඊට සම්පුර්ණ සහය දැක්වුවා. අපි කිසි විටකත් කොමිසමට බලපෑම් කළේ නැහැ. සම්පුර්ණ සහය දුන්නා. ඒ අපි වැරදි කරලා නැති නිසා.


ඒ අනුව ඔප්පු වන්නේ කුමක්ද?

එනම් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් ‘ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබු වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා.

ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්දයෙන් නඩු පැවරිය යුතු බවත් මෙම වාර්තාවේ සදහන් වෙනවා.’ යනුවෙන් සඳහන් වූ කොටස සම්පුර්ණයෙන් සත්‍යයෙන් තොර බවයි. මට කියන්න තිබෙන්නේ

වරදක්ද ? කුමන්ත්‍රණයක්ද ?
 ඒ වගේම පැහැදිළි කරුණක් තමයි මෙතරම් විශාල වාර්තාවක් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ හැදෑරීම සඳහා ජනාධිපතිවරයාට කාලයක් නොමැති බව. එවැනි පසුබිමක සත්‍යයෙන් තොර විකෘති ප්‍රකාශ එතුමාගේ ප්‍රකාශයට ආවේ කොහොමද?

ජනාධිපති කියන්නෙ මේ රටේ රාජ්‍ය නායකයා. ඒ රාජ්‍ය නායකයා, ඔහු විසින්ම පත්කළ කොමිසමක නිර්දේශ ඇතුළත් වාර්තාවක කරුණු මේ ආකාරයට විකෘති කර ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව මොකක්ද?

ඒ කෙසේ වුවත්, මේ මොහොතේ මට කියන්න තිබෙන්නේ, ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ මෙම ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මාගේ කීර්තිනාමයට, දේශපාලනය ජීවිතයට, අතිශය හානි සිදුවී තිබෙනවා.

විශේෂයෙන්ම මා කෙරේ විශ්වාසය තැබූ ජනතාවට, ඒ වෙනුවෙන් මට ඉඩහසර විවර කළ ආදරණීය එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් සිදුව තිබෙනවා.

මා මේ අවධාරණය කරන්නේ හුදු හිතළුවක් නොවෙයි. හේතු ඇතුවයි මා මේ කාරණයත් මතු කරන්නේ.

ඒ වෙනුවෙන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳවම මෙතෙක් සිදුවූ සාකච්ඡා පිළිබඳ ඔබේ අවධානය යොමුකරන්න.

අගමැතිතුමා විසින් පත්කරන ලද පිටිපන කොමිසමේදි.
ඉන්පසුව ඩිව් ගුණසේකර මහතා යටතේ කොප් කමිටුවේ මේ පිලිබදව කරුණු විභාග කෙරුණා.
ඉන්පසුව නැවත මේ පිළිබඳව සුප්රීම් උසාවියේ කරුණු විභාග කෙරුණා.
පසුව අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවේ නැවත වතාවක් විභාග කෙරුණා.
අනතුරුව සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කොමිටුවෙහි මෙම බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ ව විමර්ශනයක් සිදුවුණා.
මේ එකඳු අවස්තාවක හෝ මාගේ නම සම්බන්ධ වුයේ නැහැ.

ඉන්පසුවයි නැවතත් ජනාධිපති බැඳුම්කර කොමිසම හරහා මෙම ගනුදෙනුව ගැන විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ.

කොමිසම: ‘කන්දක් විළිලා මීයෙක් වැදුවා’

ගරු කථානායකතුමනි,

එතැන් සිට මෙම පරීක්ෂණවල තත්ත්වය වෙනස්වුනා. මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කල අවස්ථා පහේදීම නොතිබුණු මගේ නම මේ ප්‍රශ්නයට ඈදී ආවා.

මීට ඉහත මේ සම්බන්ධ පරීක්ෂණ කල ආයතන මා මේ ගැටලුවට සම්බන්ධ කර නොගත්තේ මහබැංකුව මා යටතේ තිබු ආයතනයක් නොවූ බව පැහැදිලි ලෙස දෑන සිටීම නිසයි

පසුගිය පරීක්ෂණ සිදුවුණු විවිධ ආයතන විවිධ පැතිවලින් මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවා. ඒ සියලුම ආයතන කිසිදු අයුරකින් මගේ නම සම්බන්ධ කර නොගෙන තිබුණත් ජනාධිපති කොමිසම හමුවේ පැත්තක තිබු මගේ නම, මේ ගනුදෙනුවට සම්බන්ද කර ගත්තා.
 ගරු කතානායකතුමනි,

මං හිතනවා මාස දහයක් තිස්සේ මටත් පවුලේ උදවියටත්, එක්සත් ජාතික පක්ෂයත් පව්කාරයා ලෙස සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? මාව පව්කාරයා කරලා, කුරුසිය කරේ තියලා, කල්වාරි කන්ද නග්ගන විදිහට මාධ්‍ය සංදර්ශන පැවැත්වුයේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුළ සිදුව ඇත්තේ කන්දක් විළිලා මීයෙක් වැදුවා වැනි දෙයක් නොවේද?

ගරු කථානායකතුමනි, මෙය පුදුම එලවන ප්‍රකාශයක් නොවේද? මොවුන් මාස 10ක් බලාසිටියේ මේක කියන්නද?

I believe in resurrection is after crucification.

ගරු කතානායකතුමනි,

අනෙක් අතට මං කොමිසමට සහය දැක්වීමට ස්වේච්ඡාවෙන් ගොස් පැය 2ක් පුරා සාක්ෂි ලබාදුන්නා. නමුත් මා සාක්ෂි දුන් පසු චෝදනා ඉදිරිපත් කල පාර්ශවයෙන්, කිසිදු හරස් ප්‍රශ්න ඇසිමකට ඉඩදුන්නේ නැහැ. එවැනි පසුබිමක මෙසේ අභූත චෝදනා කිරීම තේරුම් ගැනීමට අපහසුයි.

මේ තුල තිබෙන හාස්‍ය ජනක කරුණක් වනුයේ මට එරෙහිව සාක්ෂියක් කරගන්න ගෙන ආ කාන්තාවට රජයේ ප්‍රභූ ආරක්ෂකයින් 6 දෙනෙකු ලබා දීම, ඒ වගේම ඇයගේ සහෝදරයා වෙත ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනකු ලබාදීම. ඒත් යහපාලනය ගෙන ඒම වෙනුවෙන් කැපවීම් කර ඒ නිසාම බැට කමින් සිටින මේ කතාකරන මා හට කිසිඳු ආරක්ෂයෙකු ලබාදී නැහැ.

බොරු සාක්ෂි මොනවාද ? බැඳුම්කරයේ ලොකුම චෝදනාව මේකද ?

ඒ වගේම මම කියපු බොරු සාක්ෂි මොනවාද කියා දැන ගන්න මට අයිතියක් තිබෙනවා.

ගරු කතානායකතුමනි, මා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු ප්‍රකාශයක් කළා නම් COMMISSION OF INQURIES ACT එකේ SECTION 10 යටතේ ඒ අවස්ථාවේදීම මට එරෙහිව කටයුතු කිරීමට කොමසාරිස්වරුන්ට හැකියාවක් තිබුනා. ඒ සඳහා බලයක්ද ඔවුන් සතුව තිබුනා. නමුත් මාස 5ක් ගත වී, ඊට අදාළව කිසිදු පියවරක් නොගෙන මෙසේ මා හට චෝදනා නැගීම තේරුම් ගන්නේ කොහොමද? මා ඒ පිළිබඳ නැවතත් අවධාරණය කරන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

ඇත්ත වශයෙන්ම මා දුන් සාක්ෂි හරිද වැරදිද තීරණය කරන බලයක් එම කොමිසමට තිබුන. ඒවා නිවැරදිද සෙවීමට යාන්ත්‍රණයක් ඒ කොමිසමට තිබුනා. ඒ කිසිවක් සිදුනොකොට අද මෙවැනි තීරණයක් නැති ප්‍රකාශයක් වාර්තාවට ඇතුලත් කරන්නේ කාගේ උවමනාවටද?

නමුත් මේ කටයුතු හරහා මාව දේශපාලනිකව ඝාතනය කිරීමට කවරෙකුට හෝ තිබු උවමනාව ඉතා හොදින් පෙනී ගියා. එසේම එය අදටත් සිදුවන බව මේ සිදුවීම් පෙළ කියා පානවා.

අන්තිමේදී මෙම කොමිසමේ ප්‍රශ්නයක්ව ඇත්තේ මගේ දියණිය කුලියක් ගෙවීම පිණිස ලබා ගෙන ආපසු ගෙවපු රුපියල් මිලියන 11 ගැන පමණයි. මං අද ඒ කුමන්ත්‍රණකාරයන්ගෙන් අහනවා, මේකද බැඳුම්කරයේ ලොකුම චෝදනාව?අන්තිමට ඒ චෝදනාවටත් මොකද වුනේ?


මුදල් ප්‍රතිපුර්ණය :

මීළඟට මා මේ ගරු සභාවේ අවධානය යොමුකරනවා, Section 25, page 827 වෙත.

මුදල් ප්‍රතිපුර්ණය ( reimbursement) පිළිබඳ රිසිට් පත් වලට අවධානය යොමු නොකිරීම ගැනයි මා මේ පෙන්වා දීමට සුදානම් වන්නේ.

වෝල්ට් ඇන්ඩ් රෝ අසොසියෙට් සමාගමට මාගේ පවුල විසින් මුදල් ප්‍රතිපුර්ණය ( reimbursement) කල බව, එනම් ලබා ගත් මුදල් ආපසු ගෙවූ බව මා හට ඔප්පු කිරීමට නොහැකි වූ බව, එනම් කිසිදු සාක්ෂියක් පෙන්නීමට නොහැකි වූ බව.(Mr. Karunanayaka did not produce any evidence to show that any reimbursements had…) කොමිසම් වාර්තාවේ පිටු අංක 827 හි දක්වා තිබෙනවා.

එහෙත් පිටු අංක 832 දී දක්වා ඇති පරිදි මගේ පිලිතුරේදී I got the receipt here that the reimbursement has taken place යනුවෙන් ප්‍රතිපුර්ණය සිදු වූ බව පෙන්වන, රිසිට්පත් මෙන්න, යනුවෙන් ප්‍රකාශ කල බව වාර්තාවේ සදහන් වෙනවා.

එම රිසිට්පත් එදා එලෙස ඉදිරිපත් කළත් එය බැලීමට හෝ ඒ පිළිබඳ තවදුරටත් සොයාබැලීමට කිසිඳු උත්සාහයක් එදා තිබුණේ නෑ. මං දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒ කොහොම වුනත් අදාළ රිසිට්පත් ඉදිරිපත් කරන විට ඒ ගැන නොසළකා සිට දැන් මෙලෙස චෝදනා නැගීම ඉතාම කණගාටුදායකයි.

මං දන්නෙ නෑ මේ ජනාධිපති කොමිසමක විදිහද කියලා. ඒත් කොමිසමේ විදිහ මේක නම් මගේ දියණිය විසින් ප්‍රතිපුර්ණය කල මා විසින් කොමිසම හමුවට ඉදිරිපත් කල රිසිට් පත් පිලිබඳ අවධානය යොමු නොකොට කටයුතු කිරීම නිසා මට අගතියක් වූ බව සඳහන් කරන්න ඕන.

එදා යහපාලන සම්මුති ආණ්ඩුව වෙනුවෙන් මං තීරණයක් ගත්තා. මං එවකට දරපු සියළු අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වුණා. මං එදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරනු ඈති බව.


මෙහෙම යහපාලනය ස්ථාපිත කරන්න අමාරුයි:

ගරු කතානායකතුමනි,

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ වාර්තාව දිහා බලපුවහම එකක් ඉතා පැහැදිලියි. අපි 2015 දුන් පොරොන්දු ඉටු වී නොමැති බව.

අපි කිසිදාක හොරු අල්ලන්න බාධා කලේ නැහැ. කොහොම හරි තෝරගත්ත හොරු ටිකක් අලාගෙන තියෙනවා. ඒ අය අතර රජයේ නිලධාරීන් තමයි වැඩිපුර ඉන්නේ. ඒ වගේම තෝරගත්ත හොරු ටිකක් ප්‍රජාතන්ත්‍රවාදය රිසි ලෙස නමන්න ආරක්ෂා කරගෙන ඉන්න බවත් අපිට දකින්නට පුළුවන්.

ඒ වගේම යහපාලනය යනු සිය දේශපාලන බලය හා මාධ්‍ය බලය පාවිච්චිකරලා බොරුව ඇත්ත කරලා දේශපාලන ඝාතන කිරීම නොවේ. දෛවයේ සරදමකට වගේ යහපාලනය වෙනුවෙන් සටන් කරපු අපිට මෙසේ සිදු වීම කණගාටුදායකයි.

මම හිතනවා විරුද්ධ පක්ෂයේ අයටවත් මෙලෙස කටයුතු නොකළ යුතුයි. යහපාලනය කියන්නේ සාධාරණ දේශපාලනයක් කරන්න සමබිමක් නිර්මාණය කොට සැමට අවස්ථා ලබා දීමයි.

ඕනෑම ප්‍රශ්නයකට මුණ දෙන්න සුදානම්:

එදා ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිර්මාණය වුණේ නායකයින්, දක්ෂ නායකයින්. ඒත් මේ ජනමාධ්‍ය කෂේත්‍රයේ දියුණුවත් සමග අද බිහි වෙලා තිබෙන්නේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක්… ඒ තුළ දක්ෂ නායකයෝ වෙනුවට ජනප්‍රිය පුද්ගලයින්, රටේ නායකත්වයට, පාර්ලිමේන්තුවට එනවා. මේක යුරෝපයේත් අද සිදු වෙනවා..

ඒ එක්කම නව මාධ්‍ය සංස්කෘතිය තුළ සමාජය තුළ ලෝකයේ යථාර්තයන් යම් විකෘතියකට ලක් වෙලා සමාජගත වෙනවා.

මේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේත් , නව මාධ්‍ය භාවිතයේත් ගොදුරක් බවට මාව පත් කරන්න බලය වගේම මුදලුත් පසුගිය කාලේ යොදාගත්ත බව මම මේ ගරු සභාවට කියන්න ඕන.

අතීතයේ ඉදලා අපේ නායකයෝ විනාශ කරන්න කටයුතු කළා. එදා තුවක්කුවෙන්, බෝම්බයෙන් අපේ නායකයෝ විනාශ කළා.

අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාට එරෙහිව පිස්තෝලය යොදා ගත්තා.

ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව බෝම්බ පත්තු කලා.., ගාමිණී දිසානායක මහතාට එරෙහිව බෝම්බ පත්තු කලා..,

ලලිත් ඇතුළත්මුදලි මහතාට එරෙහිව බෝම්බ පත්තු කලා..

ඒ හැම අවස්ථාවකම මඩ ගහන්න මාධ්‍යත් යම් ප්‍රමාණයකට යොදා ගත්තා.

අද මේ සියල්ලට වඩා මාධ්‍ය, එදා තුවක්කුවෙන්, බෝම්බයෙන් කළ දේට වඩා භයානක ලෙස දේශපාලකයින් විනාශ කරන්න මාධ්‍ය නිදහසත්, මාධ්‍ය සංදර්ශනත් යොදා ගන්නවා..

මට මේ සියල්ලටම වඩා වෙනස් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා. බැදුම්කර කොමිසම් වාර්තාවේ මා සම්බන්දයෙන් වූ කරුණු පිළිබඳව සොයා බලා වාර්තාකිරීමට පත් කල මාරපන කමිටුව කැකිල්ලේ තීන්දුවක් ලබා දීලා.

ඔවුන් බැදුම්කර වාර්තාවට අනුව එජාපයේ කිසිදු මන්ත්‍රීවරයකු වරදක් කර නැති බව පවසනවා.

ඒ සමගම මා සම්බන්දව කරුණු සොයා බලා කටයුතු කරන ලෙස කියා ඇති නිර්දේශ උපුටා දක්වමින් එම පරීක්ෂණ කවදා හෝ අවසන් වන තුරු මාගේ දේශපාලන කටයුතු අඩාල කරන්න යෝජනා කර තිබෙනවා. මෙය මොනතරම් විහිලුවක්ද ?


විපක්ෂය කල යුත්තේ ඉතා සුළු කටයුත්තයි:

ගරු කථානායකතුමනි

ඉදිරියේදී ඔබතුමාට, අපේ පක්ෂයේ නායකයන්ට කිසියම් හෝ කොමිසමකින් හෝ වෙනත් ආයතනයකින් චෝදනා එල්ල කළහොත් ඒ අනුව මා සම්බන්දයෙන් මාරපන කමිටුවේ නිර්දේශ සියලු දෙනා සම්බන්දයෙන් ක්‍රියාත්මක විය යුතු යැයි ඔබ සිතනවා ද ? එසේ නම් අපේ පක්ෂයේ ඉදිරි ගමන නැවැත්වීමට විපක්ෂය කල යුත්තේ ඉතා සුළු කටයුත්තයි.

ඒ අපේ පක්ෂ නායකයින්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණයි.

මෙය කොතරම් යුක්ති සහගතද ? සාධාරණද ?

දුෂිතයින් සැඟවිලා :

මේ රටේ දේශපාලනඥයන්ට නරක ජාතික පුරුද්දක් තියනවා. ඒ තමයි, තමන්ට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල වුනාම, ජනාධිපති පස්සේ ගිහින් හෝ පක්ෂ නායකයා පස්සේ හැංගිලා ඒ චෝදනාවන්ගෙන් බේරෙන එක. ඒක රාජපක්ෂ පාලනය යටතේත් සිදුවුණා. අදත් සිදුවෙනවා. ඒකෙ හංගන්න දෙයක් නෑ.

කොහොමටත් ඉවුර බිඳින්නෙ ගඟ නම්, අපිට වැලි කොට්ටවලින් ලොකු වැඩ කරන්න විදිහකුත් නෑ.

තවමත් කරන්න ආව දේ නොකර අපේ ඇඟේ එල්ලිලා ගොඩයන්න හදන අයට කියන්න දෙයක් තියනවා, අද මේ ජනාධිපති පස්සෙ හැංගීම නිසා නඩු නැතිව ඉන්න, ඒත් දුෂණ වංචාවලට නම කියවුණ කීයක් ඉන්නවද? ශ්‍රීලනිපයේ නිසා නඩු නැති කීයක් ඉන්නවද? ඒකාබද්ධ විපක්ෂයේ හිටියත් පක්ෂය බැලන්ස් කරන වැඩේට මුවා වෙලා කී දෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවද?

අද ඒ හැමෝම එක පෙළට තියලා මං මෙහෙම කියනවා. රවී කරුණානායකගේ පොතේ ඔය ලොක්කෝ පස්සේ හැංගිලා බේරෙන තියරිය නෑ. ඒ තුට්ටු දෙකේ දේශපාලනය හරහා රටේ අධිකරණයට සමාජ යුක්තියට වෙට්ටු දාන වැඩ අපි ළඟ නෑ. ඉස්සරහට කරන්නෙත් නෑ. මොකද හැංගෙන්න ඕන වැරදි කරපු අයයි.

වැඩිය එපා ඔය අද කපුරුහාමිලා වගේ ඉන්න සමහරු 2015 ජනාවාරි 08 රාජපක්ෂ වේදිකාවේ ඉඳගෙන කරපු කතා ටිකක් අහන්න. ඒ එක්ක අද කියන කතා ටිකක් අහන්න. ඔය කපුරු හාමිලගේ වචන විතරයි වැඩ අන්තිමයි.

චිංචි මානවිකාවගේ දරමිටිය:

ගරු කතානායකතුමනි,

මා වැනි පෘතග්ජන පුද්ගලයෙකුට මෙහෙම දේ සිදුවීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද බුදුරජාණන්වහන්සේටත් මේ වගේ වුණා. එදත් නගරසෝභිනියක් වූ චිංචි මානවිකාවගේ දරමිටියක් බැඳලා එව්වා. චිංචි මානවිකාවත් කිව්වා කුසේ ඉන්න දරුවා බුදුන්වහන්සේගේ කියලා. අද වගේම එදත් ඇතැමුන් බුදුන්ව අවිශ්වාස කළා. තවත් අය බුදුන්ව විශ්වාස කළා. තවත් අය සිදුවන්නේ කුමක්දැයි නිහඬ විශ්මයෙන් යුතුව බලාගෙන හිටියා.

නමුත් එදා සක්‍ර දෙවියන් පැමිණ දර මිටිය ලිහලා නිවැරදි බව ඔප්පු කළා.නමුත් අද සක්‍ර දෙවියන් නෑ.

ඒ නිසාම කොමිසමත් හරි ලස්සනට කියනවා, මේ ලිහලා පෙන්නපු දර මිටිය, ඇස් ඉදිරිපිට තියන දරමිටිය ඇත්තටම දරු ගැබක්ද කියලා පරීක්ෂා කරන්න කියලා. දරමිටිය දරු ගැබක් නම් ඊට අදාළ පියාට එය භාරදෙන්න කියනවා. ඒ තල්ලුවෙන් ආණ්ඩුව බිඳ වට්ටන්න මාන බලන චිංචි මානවිකාවන් තව දුරටත් ඒ සෙල්ලම ඉස්සරහට ගෙනියන්න හදනවා.

යහපාලනය කියන්නේ සත්‍ය කුමක්දැයි සෙවීම මිස බොරුව ඇත්ත කිරීම නොවන බව ජනතාව හොදින් දන්නවා. එයට ජනතාව නිසි පිලිතුරු ලබා දෙන බව අපේ විශ්වාසයයි

පාලනයක් සිදුකරන විට වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. අපි ඒ වැරදි සහ අත්දැකීම් ගුරුවරුන් කරගන්න ඕන. තවදුරටත් බාල ජනප්‍රිය දේ සඳහා ජනතා ආකර්ෂණය ලැබෙයි කියලා හිතන්න නරකයි.

මන් කියන දේ අපේ ආණ්ඩුව බරපතල විදිහට ගත යුතුයි. බොරු නම් ඒ ඇත්ත නැත්ත මැතිවරණ ප්‍රතිඵල හරහා ලැබෙයි. ඒ නිසා ජන්ද ප්‍රතිපලයෙන් පසුවවත් අපි ආපහු හැරිලා බලමු.


ජනවරමට අනුව වැඩ කරමු :

මේ ජනවරම තියෙන්නේ 2015 ජනවාරි 08 පොරොන්දු ඉටු කරන්න. ඒ සඳහාම පමණයි. බලගතු ශ්‍රී ලංකාවක්, පොහොසත් රටක් හදන්න නොහැකි වුනොත් මේ බලය අපට නැති වෙනවා.

ඒ නිසා දැන්වත් අපි වැඩ කරමු. මේ රට හදමු. රටේ සංවර්ධනයට, මුල්‍ය ප්‍රතිපත්තියට අවශ්‍ය නීති නැත්නම් අලුත් නීති ගේමු. එයයි කළ යුත්තේ. එයයි අපේ වගකීම, එයයි අපි ජනවරමට ලබාදෙන වගවීම.

මගේ දරුවන්ට පවුලට වගේම මම ආදරය කරන්නේ අපේ පක්ෂයට, මේ රටට බොහෝ යහපත් දේ දායාද කල එක්සත් ජාතික පක්ෂයට. අපේ නායකයින්ට හැමවිටම මේ කුහක මිනිසුන් වැරදි චෝදනා කලා.

ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට, ජේ ආර් ට, ප්‍රේමදාස වැනි ජනපතිවරුන්ට, ලලිත් ගාමිණී වගේ නායකයින්ට, අපේ වත්මන් නායක රනිල් අගමැතිතුමාට.

එත් කවදාවත් ඒ චෝදනා වලින් ඒ ඇත්රාජයන්ට හානි කරන්න බැරි වුනා. අද මේ කරන්නේ එදා කල දේමයි. වෙනත් ස්වරූපයකින්. අද අපට අවශ්‍ය වන්නේ නායකයින් විනාශ කිරිම නොව බිහි කරන්නට බව අපේ පාක්ෂිකයින් තේරුම් ගෙන තිබෙනවා.

අවසානයේදී මම රටේම ඉන්න අපේ UNP පාක්ෂිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ 2018 පෙබරවාරි 10 දින උදෙන්ම ජන්ද පොලට ගිහින් ඔබේ ගම , ප්‍රදේශය දියුණු කල හැකි UNP ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් පත් කරන්න , එමගින් එක්සත් ජාතික පක්ෂය දිනවන්න, යහපාලන ආණ්ඩුව ශක්තිමත් කරන්න ඔබේ වටිනා ජන්දය පාවිච්චි කරන්න කියලා.

පොදු අපේක්ෂක අපේ ජනාධිපතිතුමාට ජය වේවා,
අපේ අගමැතිතුමාට ජය වේවා,
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා,
යහපාලන සම්මුති ආණ්ඩුවට ජයවේවා..
සත්‍යයට, යුක්තියට කැපවෙන ජනතාවට ජයවේවා…..

සත්‍ය සැඟවිය හැක්කේත් , පරාජය කල හැක්කේත් කෙටි කලකට පමණය.කවදාහෝ සත්‍ය හෙළිදරව් වනු ඇත. ජයගනු ඇත. අප සැම උත්සහා කලයුතු වන්නේ සත්‍ය ඉක්මනින් ජයග්‍රහණය කරවීමටයි.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...