2018 ජනවාරි මස 24.
2012 වසරේ පෙබරවාරි 16 වන දින හලාවත නගරයම නන්දිකඩාල් අවසන් සටන සේ දිස් විය. මහින්ද - ගෝඨාගේ ඒකාධිපති වියරුව විසින් හලාවත නගරයේ අස්සක් මුල්ලක් නෑරම අවි අමෝරාගත් රණවිරුවන් ලවා මිනිසුන්ට වෙඩි තබා හෝ රාජපක්ෂ පාලනය සුරැකීමට සුදානම් වෙමින් සිටියේය. ...මෙතරම් ආරක්ෂක හමුදාවන් හලාවත නගරය වට කලේ ඇයි ?
අතිශය දුක්ඛ කම්කටලු මැදින් ගෙවීයන ධීවර කර්මාන්තය යනු මෙරට වැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බඩවියත රැකගන්නා රැකියාවකි. මාළු ඇතිදා බත ඉදෙන නැතිදා සුසුම පමණක් ඉතිරිවන මොවුන්ගේ ජීවිත තුලින් ගලා යන කඳුලින් සාගර ජලය ලුණු රහ ගැන්වී ඇත.
දුක උහුලා ගැනීමේ සීමා මායිම් සිඳ බිඳ දමමින් තම ඉල්ලීම් දිනාගැනීමට මහ මගට බැසීම හැර වෙනත් විකල්පයක්ද ඔවුන්ට නොවුනි. එදා ඔවුන් හඬ නැගුවේ රුපියල් දහයකින් භූමිතෙල් බෝතලය අඩුකර දෙන මෙන් කල අතිශය සාධාරණ ඉල්ලීම මුල් කොටගෙනය.
එහෙත් රුපියල් දහයකින් භූමිතෙල් මිල අඩු කරදෙනු වෙනුවට එයට නිසි පිළිතුරු දුන් රාජපක්ෂ පාලනය , දෙදරු පියෙකු වූ ඇන්ටනි වර්ණකුලසුරිය ගේ හිස දෙපලු කර වෙඩි තබා මරා දැමුවේය. හලාවත ධීවර කාර්මිකයින්ගේ සටන මර්ධනය කිරීමට අවි අමෝරාගත් හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදහසක් පමණ සහභාගී වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.
හලාවත අන්ටනිලාගේ මළමිනිය විකුණමින් බලයට ආ මෛත්‍රී රනිල් ආණ්ඩුවද ඒ මහින්ද, ගෝඨාභය වැනි මිලේච්ඡ මිනිමරුවන්ටද නිදැල්ලේ ඉන්නට ඉඩහරිමින් සිටීම 2015 ජනවාරි 8 හැට දෙලක්ෂයක් ජනතා බලාපොරොත්තු අමු අමුවේ විනාශ කර දැමීමකි.මෙවන් ලේ පිපාසිත මිනීමරුවන් මෙන්ම එවුන්ව රකින ඩිල්කාරයන්ද පත් කරන්නේද . උන් අතින් මිය යන්නේද මේ රටේ දුක් විඳින මිනිසාම බව කවදා අවබෝධ කරගනු ඇතිද ?
සටහන - මලිත් විජේනායක
No comments:
Post a Comment