2018 ජනවාරි මස 19.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවිට රජය තුන් වතාවක්ම ඒ ගැන පරීක්ෂණ සිදුකළ බවත් ඒ අයුරින් කටයුතු කළ රජයක් පෙර නොතිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවක දී චෝදනා එල්ලවූවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම, පාර්ලිමේන්තුවට කරුණු හෙළි කිරීම හෝ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පිළිතුරු දීමක් හෝ සිදු නොවූ බව අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දේ.
බැඳුම්කර චෝදනාව එල්ලවූ අවස්ථාවේ පටන් විමර්ශන කටයුතු සඳහා උපරිම සහය ලබාදුන් බව අවධාරණය කරන අගමැතිවරයා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්න බවත් එය එක්සත් ජාතික පක්ෂයේ සම්ප්රදාය බවත් සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව මෙසේ ය.
අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි.
බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.
සති දෙකක් ඇතුළත විමර්ෂන කමිටුවක් පත් කළා. විමර්ෂන කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතුවලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.
මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා.
මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේරෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමඟත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතුවලට අපි සහාය දුන්නා. අපේ ඇමැතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා.
චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා.
පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ.
ලංකාවේ මුල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යළිත් තහවුරු කිරීමටයි කෝප් කම්ටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ. එම වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මුල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා. ආණ්ඩුව විනිවද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක් තමයි මේ.
බැඳුම්කර නිසා පර්පචුවෙල් ටේරෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලයන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ.
ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.
බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ෂන කරන්න අපි උපරිම සහාය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා.
මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා.
ඒ විතරක් නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියා මාර්ග ගන්නවා.
ඒ එක්සත් ජාතික පක්ෂ සම්ප්රදායයි. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්රදායයි. අපේ පක්ෂයේ සම්ප්රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා.
ජනවාරි 8වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරැදි නිවැරැදි කර ගන්නවා. අඩුපාඩු සකස් කර ගන්නවා.
බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ෂණය කරනවා. නිසි පියවර ගන්නවා.
අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....
No comments:
Post a Comment