Friday, October 27, 2017

බස් රියේ, දුම්රියේ ගැබිණි මවක් දුටු විට නින්ද යන අය සිටින සමාජයට ලිපියක්




බස් රියේ, දුම්රියේ ගැබිණි මවක් දුටු විට නින්ද යන අය සිටින සමාජයට
මවකගෙන් ලිපියක්.....

මෙලොව වසන සියලු දෙනා මවකගේ කුසයෙන් බිහි වූවෝ වෙති. නමුත්, අන් අයට සංවේදී වන්නට කියා දෙන සුන්දර සංස්කෘතියකින් පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් හට මේ බව අමතක වී තිබීම ඉතා කණගාටුදායක කරුණකි. රාජකාරි දිනයන්හිදී සිය දහස් ගණන් ජනයා තම රාජකාරි කටයුතු සඳහා කොළඹට පැමිණෙන බවත්, ඒ සඳහා බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා, එනම් බස්රිය සහ දුම්රිය සේවා, යොදාගන්නා බවත් අප සියලු දෙනා දන්නා දෙයකි. එලෙස පැමිණෙන්නන් අතර ආබාධිත වූවෝ සහ ගර්භනී මව්වරුද වෙති. ඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවලට ගරු කරනුවස් ඔවුන් වෙනුවෙන් ආසන වෙන්කිරීම සඳහා ඇතැම් ප්‍රවාහන සේවා තුළ දැන්වීම් අලවා ඇති සැටිද දක්නටද ලැබේ.

මෙම ලිපියේ අවධානය ගැබිණි මව්වරුන් පිළිබඳව යොමුකිරීමට කැමැත්තෙමි. සෑම දිනකම පාහේ, ගර්භණි කාන්තාවන්ගේ ශරීර විවිධ අභ්‍යන්තරික වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. එබැවින්, ඔවුන්ට විවිධ වූ ශාරීරික පීඩාවන් නිරතුරම දරාගැනීමට සිදුවන බවත්, ඒ හේතුවෙන් දිගු කාලයක් සිටගෙන හිඳීම අපහසු බවත් අතිශෝක්තියක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් හට නිතරම තෙරපෙන, තල්ලු වෙන, අධික ලෙස පැටවුණු ප්‍රවාහන පහසුකම් වල හිටගෙන යෑමට සිදුවීම මහත් අභාග්‍යසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමාන ය. තවද ඇතැම් ගැබිණි කාන්තාවන්, අතීතයේදී ස්වභාවික ගබ්සාවීම් කිහිපයකටම මුහුණ දී ඇති බැවින්, තම වත්මන් කළලය කෙලෙස හෝ ආරක්ෂා කරගැනීමේ දැඩි ආශාවකින් සහ මානසික අරගලයකින් පසුවිය හැකි බවද අමතක නොකළ යුතුය. එබැවින්, නොසන්සුන්කාරී මගීන්ගේ නොසන්සුන්කාරී තෙරපීම්වලට මැදිවෙමින් ගමන් කිරීමට සිදුවීම, ගැබිණි මවකට කිසිසේත්ම සුදුසු නැත. එම නොසන්සුන්කාරී බව කෙතරම්ද කිවහොත්, දිනක් එකිනෙකා අභිබවා, එකිනෙකා තල්ලු කරමින් දුම්රියෙන් බැසීමට උත්සහ දරන පිරිසක් අතර තැලෙමින් පොඩිවෙම්න් ඇදි ඇදී ගිය එක් විදේශික කාන්තාවක් තමුන්ටම හෙමින් “සත්තු වගේ මිනිසුන් - they are like animals” ලෙස මුමුණාගන්නා අවස්ථාවක් මගේ නෙත් ගැටෙන්නටද විය. ඔවුනට තමා ළඟ සිටින්නේ ආබාධිත අයෙකුද, ගැබිණි මවකද, තවත් එක් මිනිසෙකුද යන වග පිළිබඳ කිසිදු වගවිභාගයක් නොවීය.

පොදු ප්‍රවාහන සේවා තුළ දක්නට ඇති මෙම කටුක සත්‍යය හමුවේ, ගැබිණි මව්වරුන්ට විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතුමය. නමුත් අවාසනාවන්ත යථාර්ථය වන්නේ, ගැබිණි කාන්තාවන් වෙනුවෙන්ම වෙන්කර ඇති ආසනය පවා ඔවුන්ට ලබාදීමට පැකිලෙන තරමටම අසංවේදී හදවත් අද බොහෝ මිනිසුන්ට හිමිවී තිබීමයි. එලෙසෙ ආසන වෙන්කිරීම සඳහා අලවා ඇති දැන්වීම් පවා ඇතැම් ස්ථානවලින් ගලවා දමා ඇති සැටිද දක්නට ලැබීමෙන් වත්මන් මිනිසුන් තුළ ඇති අසංවේදී ආත්මාර්ථය තවදුරටත් තහවුරු වේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය පිළිබඳ කළ සමීක්ෂණයඋදෑසන සහ හවස් යාමයේ බොහෝදෙනා රාජකාරි ස්ථාන වෙත සහ ඒවායින් නිවෙස් වෙත ගමන් කරන කාල පරිච්ඡේදය තුළ, එක් දුම්රියක සාමාන්‍යයෙන් ගැබිණි මව්වරුන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබුනද ඔවුන් වෙනුවෙන් දැන්වීම් මඟින් වෙන්කර තිබෙන ආසන සංඛ්‍යාව 4ක් 8ක් අතර ප්‍රමාණයක් වේ. (මෙම දත්ත ලේඛකයාගේ නිරීක්ෂණය මත පදනම්ව මිස සමීක්ෂණයක් මගින් ලබාගත් ඒවා නොවේ.) මුහුණට මුහුණලා තබා ඇති ආසන 4කින් යුතු ප්‍රදේශයේ “ගැබිණි මව්වරුන් සඳහා වෙන්කර ඇත” යන ස්ටිකරය, ආසන 4න් ආසන 2කට ආසන්න වන්නට අලවා ඇති විට, ගැබිණි මව්වරුන් දෙදෙනෙකුට වඩා සිටින අවස්ථාවකදී, ස්ටිකරය අලවා ඇත්තේ එක් ආසන දෙකකට ඉහළින් පමණක් යැයි කියමින්, ඇතැම් ආත්මාර්ථකාමී මිනිසුන් ඉතිරි ගැබිණි කාන්තාවන්ට ආසන ලබාදීමෙන් වැළකීමට කටයුතු කරන අවස්ථාද එමටය. මෙවැනි අසාධාරණ සිදුවීම් කිසිසේත්ම අනුමත කළ යුතු නොවේ.

බස්රිය තුළද මෙවැනිම දේ දැක ගත හැක. විශේෂයෙන්ම බස් රියදුරන් ඉතාමත් නොසැලකිලිමත් ලෙස තිරිංග යොදන ආකාරය සහ එකිනෙකා අභිබවා රිය පදවන වේගය නිසා, බස් රිය තුළ ගැබිණි කාන්තාවන් සිටගෙන යාම ඉතා අනතුරුදායක විය හැක. බස්රථ තුළද ගැබිණියන් හට වෙන් කර ඇති ආසන ඔවුන්ට ලැබෙන්නේ කලාතුරකිණි. වායු සමනය කරන ලද බස්රථ තුළ මෙවැනි කිසිදු ආසන වෙන්කිරීමක් සිදුකර නැති අතර, ඇතැම් හිත් පිත් නැති කොන්දාස්තර වරුද ගැබිණි මව්වරුන්ට ආසනයක් ලබාදෙන ලෙස සෙසු මගීන්ගෙන් ඉල්ලීමට පැකිලෙති. ඇතැම් විට, ගැබිණි මව්වරුන්ව බස් රියට නංවා ගැනීමට ද අකමැති වෙති. බොහෝ මඟිහු ගැබිණියන් දුටු සැනින් බොරු නින්දකට ගොස් හෝ, දුරකථන ඇමතුමක් ගෙන හෝ නැතිනම් ජනේලයෙන් පිටත බලාගෙන හෝ ඔවුන් නොදැක්කා සේ මඟහරිති. මේ අසංවේදී මිනිසුන් අතර, සංවේදී මගීන් සහ කොන්දාස්තරවරුද කලාතුරකින් දක්නට ලැබෙන බව අනිවාර්‍ර්යයෙන් සටහන් කළ යුතුය.

රැකියාවක නිරත වන, හෝ නොවන, ගැබිණි මව්වරුන් සමඟ පොදු ප්‍රවාහන පහසුකම් තුළ ඔවුන්ගේ අත්දැකීම සම්බන්ධව ව්‍යූහගත සමීක්ෂණයක් සිදු කළහොත්, මා මෙතෙක් සඳහන් කළ දේට වඩා පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇත. එමඟින්, ආසනයක් ලබාදෙන මෙන් ඉල්ලු විට, ඔවුන්ට නිරන්තරයෙන් ඇසීමට සහ විඳීමට ලැබෙන ප්‍රතිචාරවල අප්‍රසන්න බව පිළිබඳවද අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. අවාසනාවකට මෙන්, රජය, විශේෂයෙන් කාන්තා හා ළමා කටයුතු පිලිබඳ අමාත්‍යංශය ඇතුළු කිසිදු වගකිව යුතු පාර්ශවයක් එවැනි සමීක්ෂණයක් කර හෝ මෙම අසාධාරණ තත්වයන් මඟහරවා ගැනීමට කිසිවක් මේ වන විටත් සිදු කර නොමැත. මෙම අමාත්‍යාංශයට කළ හැකි තවත් එක් අඩු වියදම් ව්‍යාපෘතියක් වන්නේ ඇණ මඟින් සවි කරනු ලබන වඩා ස්ථාවර ආසන වෙන්කිරීමේ පුවරු ගැබිණි මව්වරු සහ ආබාධිත අය වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට නොඅඩුව පොදු ප්‍රවාහන සේවා තුළ සවි කිරීමය.

තවද මුළු ප්‍රවාහන සේවා පද්ධතියම මඟීන්ට පහසුදායි සහ සුදුසු ලෙස, කැඩුණු විදුලි පංකා සහ ඉරුණු ආසන කවරවලින් තොර වන පරිදි වැඩිදියුණු කළ යුතුව තිබේ. වර්තමානයේ පවතින දුම්රිය ප්‍රමාණය ඉක්මවා නව දුම්රිය ප්‍රවාහනයට යෙදවීමත්, දුම්රිය වාරගණන වැඩිකිරීමත් මඟින් එක් දුම්රියක සිටින මගීන් ගණන අවම කර ගත හැක. මේ සඳහා රජය දරනු ලබන වියදම, බස්රියේ, දුම්රියේ අපහසුතාවයන්ට ලක් නොවී යහපත් මනසකින් රැකියාවට පැමිණෙන සේවකයින්ගේ වැඩිදියුණු වූ ඵලදායිත්වය මඟින් නැවතත් රට වෙතම ප්‍රතිලාභයක් ලෙස ගලා එන බව නොඅනුමානය.

සමාලෝචනයක් ලෙස මෙම ලිපිය ඔබේම රටේ ගැබිණි මව්වරුන්ට පොදු ප්‍රවාහන සේවා තුළදී සංවේදීව වන මෙන් මුළු මහත් ශ්‍රී ලාංකික ජනයාට කෙරෙන ආයාචනයකි. එක් දිනක ඔබත් ගැබිණි මවක් හෝ ගැබිණි මවකගේ සැමියෙක් හෝ පියෙක් හෝ මවක් හෝ ඥාතියෙක් හෝ වනු ඇත. තවද අප සැවොම මෙලොව එලිය දුටුවේ මවකගේ කුසයෙනි. ඇයට එදා සමාජය සලකනු ලැබූ ආකාරය, අද ඔබේ ගති ලක්ෂණයන්ට බලපා ඇති බව අමතක නොකළ යුතුය. යහපත් සමාජයක්, විශේෂයෙන් යහපත් අනාගතයක් වෙනුවෙන්, ගර්භණී මාතාවන් වෙත කාරුණාව දක්වමු. ඔවුන්ට ගරු කරමු.

- මේරියන් ප්‍ර‍නාන්දු විසිනි


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...