Friday, October 27, 2017

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය මැණිකට පයින් ගැසීමක්



පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය මැණිකට පයින් ගැසීමක් – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ සමාජයේ මතුව ඇති කතාබහ පිළිබඳ රාගම ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා මහතා සමග කළ සාකච්ඡුාවකි.

ප‍්‍ර – අපේ රටේ ජන ප‍්‍රතිශතයට සාපේක්ෂව ප‍්‍රමාණවත් වෛද්‍යවරු ප‍්‍රතිශතයක් සිටිනවාද?
පි – අපි මෙහෙම සරල අංක ගණිතය අනුව සිතමු. මං වැඩ කරන වාට්ටුවේ කනිෂ්ඨම වෛද්‍යවරියගේ ලියාපදිංචි අංකය තිස් පන්දහස් ගණනක්. මගේ අංකය හත්දාස් ගණනක්. මම විශ‍්‍රාම යන්න තව අවුරුදු ගණනක් තියෙනවා. මට වඩා අවුරුදු 5ක් 6ක් වයසේ අයත් තවම රජයේ සක‍්‍රීය සේවයේ වැඩ කරනවා. ඒ අනුව දළ වශයෙන් 32000ක් විතර වෛද්‍යවරුන් ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉන් සුළුතරයක් විදෙස්ගත වුණත් බහුතරය ලංකාවේ සේවයේ ඉන්නවා.

ඒ අනුව රටේ ජනගහනය මිලියන 21ක් නම් මිනිස්සු 600කට වෛද්‍යවරයෙක් ඉන්නවා. බි‍්‍රතාන්‍යයේ මිනිස්සු 500කට වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වගේ ම බොහෝ වෛද්‍යවරුන් රජයේ රෝහලේ වගේම පෞද්ගලික රෝහල්වල හෝ සායනවල වැඩ කරනවා. එතකොට එහි වෛද්‍ය භූමිකා දෙකක් හෝ කිහිපයක් තියෙනවා. එහෙම බැලූවාම වෛද්‍ය ප‍්‍රතිශතය තවත් ඉහළ යනවා. අපට රටට තවත් වෛද්‍යවරුන් ලබා දිය හැකි නම් තවත් හොඳයි. ඒ වගේම රටේ සිටින වෛද්‍යවරුන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නවාද කියන එකත් ගැටලූවක්.

ප‍්‍ර – රටට ප‍්‍රමාණවත් වෛද්‍යවරුන් ප‍්‍රමාණය ඉන්නවා නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කුමටද?
පි – ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් බිහිවන බහුතරයක් වෛද්‍යවරුන් සායනික කටයුතුවල යෙදෙන්නේ නෑ. ඔවුන් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ වෙනත් ක්ෂේත‍්‍රවල කටයුතු කරනවා. අපේ වෛද්‍යවරුන්ටත් එවැනි ක්ෂේත‍්‍රවලට යොමු විය හැකියි. ඒ වගේ ම වෛද්‍යවරයෙක් බිහි කරලා විදෙස් සේවයට යොමු කළ හැකි නම් ඔවුන් රටට මුදල් එවනවා නම් දරු පවුල් විනාශ කරගෙන මැදපෙරදිග වහල් සේවයට යන කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් රටේ නතර කරගත හැකියි. ඒ නිසා රටට අවශ්‍ය වෛද්‍යවරුන් ප‍්‍රමාණය ඉන්නවා කියලා රටේ වෛද්‍යවරුන් බිහිකිරීම ඉහළ දාන්න උවමනා නෑ කියලා යමෙක් හිතනවා නම් ඒක ප‍්‍රඥාගෝචර නෑ.

ප‍්‍ර – මේ සඳහා වැඩිපුර වෛද්‍යවරු පිරිසක් රජයට බිහි කරන්න බැරිද?
පි – රජයකට අසීමිත ලෙස වෛද්‍යවරුන් නිෂ්පාදනය කරන්න බෑ. කිසිම රටක එහෙම කරන්නෙත් නෑ. දැනටත් රජයේ වෛද්‍ය විද්‍යාල සඳහා ගන්නා ළමුන් ප‍්‍රමාණය වැඩියි. ඒ නිසා සිසුන් 100කට පමණ පහසුකම් ඇති අපේ රෝහලට දැන් සිසුන් 140ක් විතර බලා ගන්න වෙලා තියෙනවා.

එංගලන්තයේවත් අපේ රටේ පන්නයේ විශ්වවිද්‍යාල නෑ. ඒවා වෙනම මණ්ඩලවලින් පාලනය වෙන්නේ. ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න රජයෙන් පොලී රහිත ණයක් දෙනවා. ඔහු ආදායම් උපයන කොට එම ණය මුදල කොටස් වශයෙන් කපාගන්නවා. ලංකාවෙත් එහෙම ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළ හැකි නම් අවශ්‍ය සියලූ දෙනාට වෛද්‍ය අධ්‍යාපනය දෙන්න පුළුවන්.

නමුත් සියලූ වියදම් ආණ්ඩුව දරන ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල ක‍්‍රමය යටතේ එය කරන්න බෑ. එවැනි විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සිසුන්ට යහපතක් විය හැකියි. නමුත් ඒ සඳහා ජනතාවගෙන් තවත් බදු අය කිරීමට සහ සෙසු සංවර්ධන කටයුතු සඳහා ඇති අවස්ථා කැප කිරීමට සිදුවෙනවා. එය සාධාරණ නෑ.

ප‍්‍ර – රජයට නොමැති හැකියාවක් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ලැබෙන්නේ කෙසේද?
පි – පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට සිසුන්ගෙන් මුදල් අය කිරීමේ හැකියාව තියෙනවා. ඒ මුදලින් ඔවුන්ට යටිතල පහසුකම් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම උපරිම වයස වැනි රජයේ විවිධ රෙගුලාසිවලින් මිදිලා ඉතාම පළපුරුදු කථිකාචාර්යවරු ගන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට ඉහළ මට්ටමේ වෛද්‍යවරුන් බිහිකිරීමේ හැකියාවක් තියෙනවා.

ප‍්‍ර – නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ප‍්‍රමිතියක් නෑ නේද?
පි – එම සිසුන්ට හොඳ සායනික පුහුණුවක් නැති නිසා ඔවුන්ගේ ප‍්‍රමිතියක් නෑ කියලා චෝදනා කරනවා. එහෙම කියන ගමන් කවදාවත් සැබෑ ලෙඩෙක් පරික්ෂා නොකළ, රුධිර පීඩනය පරික්ෂා නොකළ, සැත්කම් කාමරයක් නොදැකපු චීන වෛද්‍ය උපාධිධාරීන් පිළිගන්නවා. සැබවින්ම වෛද්‍ය සිසුවකුට උවමනා හොණ්ඩර ගණනට ලෙඩුන් බැලීම නෙමේ, ඉතා හොඳ න්‍යායාත්මක දැනුමක් සහ යම් ප‍්‍රමාණයක සායනික පුහුණුවක්.

වර්තමාන සාමාන්‍ය වෛද්‍යවරයකුගේ (ඵඊඊී* කාර්යභාරය වන සාමාන්‍ය ලෙඩෙකුගේ තත්ත්වය හඳුනා ගෙන ප‍්‍රතිකාර කිරීමට සහ ඉන් ඔබ්බට යන තත්ත්වයක් ඇත්නම් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට ඒ දැනුම ප‍්‍රමාණවත්. ඇතැම් සායනික අත්දැකීම් අපට වෛද්‍ය ජීවිතයේ අවුරුදු 30කට පස්සේ ලැබිය හැකියි. එයින් කියවෙන්නේ නෑ ඒ වෛද්‍යවරයා සායනිකව සුදුසු නෑ කියලා.

අවශ්‍ය නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක සායනික පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දිය හැකියි. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් අවට රෝහල් 5ක සායනික පුහුණුව සඳහා යවනවා. ඔවුන්ගේ සායනික පුහුණුවේ යම් අඩුවක් ඇත්නම් එමගින් සපුරාගත හැකියි. නො එසේ නම් ඔවුන්ගේ සායනික පුහුණුව කාලය වසර දෙකක් බවට පත් කළ හැකියි.

අපි ප‍්‍රමිතිය නැතිව වෛද්‍යවරයකු තබා ගිනි කූරක්වත් තැනිය යුතු නෑ. නමුත් ඒ ප‍්‍රමිතිය අපේ රටේ මැදහත් විද්වතුන් විසින් තීරණය කළ යුතුයි. ගාල්ලේ වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තේ පොල් අතු මඩුවක අවම පහසුකම් යටතේ කියලා මහාචාර්ය ළමා බදුසූරිය නිතර කීවා. එතැනින් බිහි වුණු වෛද්‍යවරුන්ගේ ප‍්‍රමිතියේ අඩුවක් තියෙනවාද? අනෙක නිශ්චිත ප‍්‍රමිති ලේඛනයක්වත් නැතිව තමයි ඔවුන් ප‍්‍රමිතිය ගැන තීන්දු තීරණ අරගන්නේ.

එංගලන්ත වෛද්‍ය සභාවේ අඩක් විතර ඉන්නේ වෙනත් ක්ෂේත‍්‍ර නියෝජනය කරන අය. ඔවුන් වෛද්‍ය ප‍්‍රමිතිය හදන්න යන්නේ නෑ. වෛද්‍ය සභාවේ කාර්ය නියාමනය මිස ප‍්‍රමිතිය හැදීම නෙමේ. රෝහලක් පවා නැති රජයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයක ප‍්‍රමිතිය පිළිගන්න ලංකා වෛද්‍ය සභාව රෝහලක් තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගන්නේ නෑ. රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු නියෝජනය කරන වෛද්‍ය සභාවකින් ඒවාට තරගයක් දෙන අලූත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා අවස්ථාව දෙන්නේ නෑ. ඔවුන් හැසිරෙන්නේ රතු හැට්ටකාරි කතාවේ වෘකයා වගේ.

ප‍්‍ර – පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්නේ වෛද්‍ය උපාධිය විකුණාගෙන කෑමට නේද?
පි – අද රටේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ළමුන් විභාග සමත් වන සිසුන් කී දෙනෙක් උපකාරක පන්ති ගොස් නැද්ද? උපකාරක පන්ති නොගිහින් විභාග සමත් වන ළමයි කී දෙනෙක් ඉන්නවාද? දැන් උසස් පෙළ ළමයි පාසල් යන්නේ නමට විතරක් නෙමේ ද? මුදලට අධ්‍යාපනය ලබා දීම අද සමාජයේ කොටසක් බව මේ කරුණු විමසා බැලූ විට පේනවා. මුදලට ඉගෙන ගෙන ගණකාධිකාරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිවේදියෙක් වුණු අයට රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවූ අයටත් වඩා ඉහළ තානාන්තර ලැබෙනවා. එහෙම නම් ඒ විදිහට වෛද්‍යවරයෙක් බිහිවුණාම පිළිගන්න බැරි ඇයි? එය සෙසු වෘත්තීන්ට වඩා සුවිශේෂද? වෛද්‍යවරයෙක් විදිහට මම දන්නවා එය සෙසු වෘත්තීන් වගේ ම වෘත්තියක්. ඊට හිමි සුවිශේෂතාවක් නෑ.

අපට උසස් පෙළ විභාගයෙන් සමත් වන සියලූ දෙනාට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න බැරි නිසා ඉහළම ලකුණු ලබා ගත් අයට රජයේ වෛද්‍ය විද්‍යාලවල අවස්ථාව ලබා දෙනවා. ඒ අවස්ථාව නොලැබෙන සමහරු පිටරට ගොස් වෛද්‍ය උපාධිය අරගෙන ආවාම අපි පිළිගන්නවා. ඉතින් ඒ වගේ අයට හැකියාව සහ වුවමනාව ඇත්නම් මුදල් ගෙවා මේ රටේම ඉගෙන ගෙන හෝ වෛද්‍යවරුන් වීමට අවස්ථාව තිබිය යුතුයි. එහෙම අඩු ලකුණු ගත් අයට වෛද්‍යවරු වෙන්න බෑ කියනවා නම් ඵඵඊී උපාධිය ඉහළින් සමත් වන අයට පමණයි විශේෂඥ වෛද්‍යවරු වෙන්න ඉඩ දෙන්න ඕන. නමුත් මේ අය ඒකට කැමති නෑ.

ප‍්‍ර‍්‍ර – අවම වෛද්‍ය ප‍්‍රමිතිය ගැසට් කළ පසු මේ ගැටලූව විසෙ`දයිද?
පි – අම්මාට තාත්තාට තියෙන ආදරේ වගේම වෛද්‍ය ප‍්‍රමිතියත් මිනුම් දඬුවලින් මනින්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. එම ප‍්‍රමිතිය හඳුනා ගැනීමේ ශක්තිය ස්වභාවයෙන් අපට තිබිය යුතුයි. නමුත් ප‍්‍රමිතිගත කරනවා නම් ඒ සඳහා පිළිගත් නිල ප‍්‍රමිති ලේඛනයක් තිබිය යුතුයි. එහි දී සායනික පුහුණුව පමණක් නෙමේ දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාල, ඇගයුම් ආදි සියල්ල ඇතුළත් විය යුතුයි. ඒ ප‍්‍රමිතිය හුදෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව රජයේ වෛද්‍ය විද්‍යාල ද ඉලක්ක කරගත් එකක් විය යුතුයි.

ප‍්‍ර – පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඔස්සේ අපට ලබා ගත හැකි වාසි මොනවාද?
පි – ඉන්දියාව, ඇමෙරිකාව වගේ බොහෝ රටවලට තමන්ට උවමනා වෛද්‍යවරු ප‍්‍රමාණයවත් කවදාවත් හදා ගන්න බෑ. මොකද ඒ රටවල ක‍්‍රියාත්මක වන්නේ පෞද්ගලික වෛද්‍ය සේවා නිසා වෛද්‍ය විද්‍යාලයක් සඳහා අවශ්‍ය සියලූ පහසුකම් එක ස්ථානයක ඇති ස්ථාන ඉතාම අඩුයි. එහෙම සියලූ පහසුකම් තියෙන ස්ථානවල දැනටමත් වෛද්‍ය විද්‍යාල තියෙනවා.

නමුත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. රජයේ වෛද්‍ය සේවාව නිසා බොහෝ නගර ආශ‍්‍රිතව වෛද්‍ය විද්‍යාලයක් සඳහා උවමනා ආකාරයේ පහසුකම් සහිත රෝහල් පද්ධතියක් අපට තියෙනවා. කළුතර, රත්නපුර, කුරුණෑගල වගේ ම බදුල්ල රෝහල් ආශ‍්‍රිතව අපට ඉතාම පහසුවෙන් වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ හැකියි. ඒ ඔස්සේ අපේ රටට වගේම ලෝකයට වුවමනා වෛද්‍යවරුන් බිහි කිරීමේ සුවිශේෂ හැකියාවක් අපට තියෙනවා.

මේ වන විට වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා පාඨමාලා ගාස්තු පමණක් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් අනූ දහසක් වැය වෙනවා. නවාතැන්, ඉඳුම් හිටුම්, කෑම් බීම් වශයෙන් තවත් විශාල මුදලක් වැය වෙනවා. පිට රටවල එවැනි වෛද්‍ය විද්‍යාල වටා ඒ ආශ‍්‍රිත ජීවන මාර්ග සිය දහස් ගණනක් සහිත ගම් නගර නිර්මාණය වෙලා තිබෙන ආකාරය අපි දැකලා තියෙනවා. එවැනි එක වෛද්‍ය විද්‍යාලයක් ඔස්සේ වසරකට ඩොලර් බිලියන ගණනක් රටට ගෙන ආ හැකියි. අපි හම්බන්තොට වරාය චීනයට දුන්නේ ඩොලර් බිලියන එකක විතර මුදලකට කියන එක අමතක කරන්න එපා.

අපේ පසුගාමී වාමාංශික දේශපාලකයන් නිසා එදා කොළඹ වරායට හිමිවිය යුතු තැන සිංගප්පූරු වරායට ලැබුණා. දැන් අපි ඉන්න ඕන තැන සිංගප්පූරුව ඉන්නවා. දැන් අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ඔස්සේ නැවත රට දියුණුව කරා රැුගෙන යන්න ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තියෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වීම ඇත්තටම මැණික් ගලට පයින් ගැසීමක්. අපි ඒ අවස්ථාව ලබා නොගත්තොත් මැලේසියාව ඒ අවස්ථාව ලබා ගන්නවා. ඔවුන් ඒ සඳහා දැන් වැඩ කරගෙන යනවා.



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...