Monday, October 30, 2017

යුරෝපානු දේශපාලනය මේ දිනවල දැඩි අර්බුදකාරි වාතාවරණයක


ඉතාලියත් බෙදී වෙන්වෙයිද?

යුරෝපානු දේශපාලනය මේ දිනවල දැඩි අර්බුදකාරි වාතාවරණයකට මුහුණ දෙමින් සිටියි. මුලින්ම කැටලෝනියාව ස්‌පාඤ්ඤයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත් වූ අතර ස්‌පාඤ්ඤ රජයේ දැඩි බලපෑම් හමුවේ ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස නම් කිරීම තවමත් ප්‍රමාද කරමින් සිටියි. කැටලෝනියාව ආදර්ශයට ගනිමින් මේ වන විට ඉතාලියේද ධනවත් ප්‍රාන්ත දෙකක්‌ ඉතාලි මධ්‍යම රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ වෙනීටෝ හා ලොම්බාඩි ප්‍රාන්ත දෙකය. මෙම ප්‍රාන්ත දෙකම ඉතාලි මධ්‍යම රජයෙන් වෙන්ව වෙනම ස්‌වයංපාලන බලයක්‌ ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක්‌ පවත්වා බහුතර ජනතා කැමැත්තද ලබාගෙන තිබේ. ඒ අනුව මෙම ප්‍රාන්ත දෙක සඳහා පැවැත්වූ ජනමත විචාරණ දෙකේදී එකී ප්‍රාන්තවල ජනයාගෙන් සියයට 95කට වැඩි පිරිසක්‌ ඉතාලි මධ්‍යම රජයෙන් වෙන්වී ස්‌වයංපාලන ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වීමට සහාය පළකර ඇත.
කැටලෝනියානු ජනතාව මෙන්ම වෙනීටෝ හා ලොම්බාඩි ප්‍රාන්ත ජනයාද ස්‌වයංපාලන අයිතිය ඉල්ලා සිටීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ එකම කරුණය. එනම් තම ප්‍රාන්තවලින් මධ්‍යම රජයට ගෙවන අතිවිශාල බදු මුදල් මධ්‍යම රජය අනිසි ලෙස පරිහරණය කිරීමය. තම ප්‍රාන්තවලින් අති විශාල බදු මුදලක්‌ අයකළ ද ඊට සරිලන ලෙස යටිතල පහසුකම් හෝ සුබසාධන සේවා ක්‍රියාත්මක කිරීමට ඉතාලි මධ්‍යම රජයේ නිලධාරීන් පියවර ගෙන නොමැති බවට නැඟෙන චෝදනාව මෙහිදී ඉතා ප්‍රබල වේ.

ජනමත විචාරණය ජයගැනීම දේශපාලනික ප්‍රතිසංස්‌කරණවල ප්‍රබල පියවරක්‌ ලෙස සඳහන් කරන වෙනීටෝ ආණ්‌ඩුකාර ලුකා සායි සිය ප්‍රාන්තයේ දේශපාලන කොට්‌ඨාස 23නේම බලය ලබා ගැනීම සඳහා ඉතාලි මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද සඳහන් කර තිබේ. එහිදීද බදු අයකර ගැනීම ප්‍රධාන මාතෘකාව වනු ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වුවද වෙනීටෝ හා ලොම්බාඩි ජනමත විචාරණ කැටලෝනියා ජනමත විචාරණය මෙන් නීති විරෝධි වූවක්‌ හෝ ඉතාලි ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ ලෙස සඳහන් නොවේ. ඉතාලි මධ්‍යම රජයේ විදෙස්‌ ඇමති ඇන්ජලීනෝ ඇල්ෆානෝ සඳහන් කර තිබුණේ ජාතියක්‌ ලෙස එක්‌සත් රටක්‌ තවදුරටත් පවත්වාගෙන යැම වෙනුවෙන් ප්‍රාන්ත බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවය. එසේ වුවද මෙකී ධනවත් ප්‍රාන්ත වලින් බදු අය කරගැනීම අත් නොහරින බවද ඉතාලි මධ්‍ය රජය පවසයි.

ඒ අනුව බලන කල ඉතාලි රජයෙන් ඉවත්ව වෙනම ස්‌වයංපාලන බලයක්‌ ඉල්ලීමේ ප්‍රධාන සාධකය මෙන්ම මෙම ප්‍රාන්ත දෙක තවදුරටත් තම පාලනය යටතේම තබා ගැනීමට මධ්‍යම රජය දරණ උත්සාහයට හේතුවද බදු වේ.

ඉතාලියේ උතුරුදිග ප්‍රාන්තයක්‌ වන ලොම්බාර්ඩි හි ප්‍රධාන නගරය මිලානෝ වේ. වර්ග කිලෝ මීටර් 23844ක වපසරියකින් යුත් වන මෙහි මිලියන 10ක ජනතාවක්‌ ජීවත් වේ. ගෝලිය මුල්‍ය හා විලාසිතා ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛ නගරයක්‌ වන මිලානෝ ඉතාලි ආර්ථිකයේ සියයට 20කට දායකත්වය දක්‌වන්නේය. සංචාරක කර්මාන්තයේ ගමනාන්තයක්‌ ලෙසද ප්‍රකට මිලානෝ නගරයේ සුපිරි සාප්සු සංකීර්ණ හා සුපිරි අවන්හල් රැසක්‌ ඇත.

italy1වැනිසිය පිහිටි වෙනීටෝ ප්‍රාන්තයද මීට දෙවැනි නැත.ඉතාලි ආර්ථිකයෙන් සියයට 10කට දායකත්වය සපයන මෙකී ප්‍රාන්තය සංචාරක ආකර්ෂණයේ ඉහළම ස්‌ථානයක පවති. මිලියන පහකට ආසන්න ජනතාවක්‌ වාසය කරන වෙනීටෝ ප්‍රාන්තයේ ඓතිහාසික ස්‌ථාන රැසක්‌ම දැකගත හැකිය. වැනිසිය ඉන් ප්‍රධාන වේ. වර්තමානයේදී මෙම ප්‍රදේශය සංක්‍රමණයන්ට නවාතැන් සපයන ප්‍රදේශයක්‌ ලෙසද ප්‍රචලිතය. ඒ අනුව ඉතාලි ආර්ථිකයෙන් සියයට 30ක්‌ම මෙම ධනවත් ප්‍රාන්ත දෙකින් උපයාගන්නේය.

එසේ වුවද තම ප්‍රදේශවලට මධ්‍යම රජය දක්‌වන අඩුසැලකිල්ල හේතුකර ගනිමින් මෙම ප්‍රාන්ත දෙකෙහි බලධාරීන් වෙනම ස්‌වයංපාලන බලයක්‌ ඉල්ලා සිටියේ මින් වසර කිහිපයකට පෙර සිටය. වෙනිටෝ ආණ්‌ඩුකාර ලුකා සායි විසින් ජනමත විචාරණයට දින නියම කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ අනුව ඔක්‌තෝබර් 22 දෙවැනිදා ස්‌වයංපාලන බලය ලබාගැනීම සඳහා වෙනිටෝ ප්‍රාන්තය ජනමතවිචාරණය පවත්වන විට අසල්වැසි ලොම්බාඩි ප්‍රාන්තයද එම තීරණයටම පැමිණ තිබුණේය. මෙහි විශේෂත්වය වන්නේ මේ ප්‍රාන්ත දෙකේම ජනමතවිචාරණ ක්‍රියාත්මක කළ නායකයන් දෙදෙනා එනම් වෙනිටෝ ආණ්‌ඩුකාර ලූකා සායි හා ලොම්බාඩි නායක රොබටෝ මැරෝනි යන දෙදෙනාම ලෙගා නෝඩ් නම් බෙදුම්වාදී ප්‍රවනතාවක්‌ සහිත දේශපාලන පක්‌ෂ නියෝජිතයින් වීමය.

ලෙගා නෝඩ් යනු ඉතාලියේ ප්‍රාදේශීය දේශපාලන පක්‌ෂයක්‌ වන අතර ඉතාලියෙන් බැහැර දී මෙම දේශපාලන පක්‌ෂය උතුරු ලීගය ලෙස හඳුන්වයි. ඉතාලිය ෆෙඩරල් රාජ්‍යයක්‌ කරා ගෙනයැම වෙනුවෙන් පෙනී සිටින මෙම දේශපාලන පක්‌ෂය ප්‍රදේශීය ස්‌වයංපාලන ප්‍රාදේශ විශේෂයෙන් ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ඇතිකිරීම සඳහා මූලිකව කටයුතු කළේය. වෙනිටෝ හා ලොම්බාඩි ප්‍රාන්තවල වෙනම ස්‌වයංපාලන ප්‍රදේශ ඇතිකිරීම සඳහා ලෙගා නෝඩ් පක්‌ෂය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුගියදා පැවති මෙම ජනමත විචාරණ හඳුන්වා දිය හැකිය.

මෙම ජනමත විචාරණය පිළිබඳ අදහස්‌ දක්‌වා ඇති ඉතාලි අගමැති පාවුලෝ ජෙන්ටිලොනි ඉතාලි නීතියේ හා ව්‍යවස්‌ථාවේ සීමාවන්ට යටත්ව වෙනිටෝ හා ලොම්බාඩි ප්‍රාන්ත වලට බලය බෙදාහැරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. එසේ වුවද බලය බෙදාහැරීම සඳහා කුමන කොන්දේසි යොදාගන්නේද යන්න පිළිබඳව අගමැතිවරයා පැහැදිලි කර නැත.




No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...