Friday, December 15, 2017

"ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්ද"...

ඔබේ ගිණුම ඔබ ගැන ලෝකයාට කියන තවත් කැඩපතක්ද..

ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය කීයක් ගතකරනවාද? ඒ කාලය තුළ ඔබ කොතරම් ෆෝස්ටු ඊට එක් කරනවාද? ඒ ෆෝස්ටු වලට ඇතුලත් වන්නේ මොනවාද? ඒවාට ලැබෙන ප්‍රතිචාර කෙතරම් ඉහළ මට්ටමක තිබෙනවාද?

****විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කරාපිටිය ශික්ෂණ රෝහල,ගාල්ල.
කරාපිටිය ශික්ෂණ රෝහල,ගාල්ල.

මා ඉහත විමසූ ප්‍රශ්න වලට ඔබගෙන් විවිධ පිළිතුරු ලද හැකිය. එහෙත් ඔබ ෆේස්බුක් ගිණුම භාවිතා කරන ආකාරය ඔබගේ මානසික සෞඛ්‍යයේ කැඩපතක් සේ සමාජයට හැඟී යා හැකි බව ඔබ නිකමටවත් හිතුවාද?
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතය මගින් මානසික සෞඛ්‍යය පිළිබඳව සෘජු යමක් කිව නොහැකි වුවද එය භාවිතා කරන ආකාරයෙන් ඔබ පිළිබඳව ඔබ නොදත්; ඔබ නොසිතන බොහෝ දේ අන් අයට කීමට පුළුවන. විශේෂයෙන් මනෝ විද්‍යාව සහ මනෝ වෙද්‍යෙ විද්‍යාව හැදෑරූ අය හට එම අවස්ථාව වැඩිපුර උදාකර ගත හැක.

දවසේ වැඩිම වේලාවක් ෆේස්බුක් වෙබ් අඩවියේ රැඳී සිටීම; ඒවායේ ඇති පෝස්ටු විමසමින් ඒවාට Like සහ Comment දැමීම මූලික මානසික අර්බුදයක් සේ සැලකිය නොහැක. එහෙත් ෆේස්බුක් වෙබ් අඩවියෙන් බැහැරව සිටිය නොහැකිව යළි යළිත් ෆේස්බුක් වෙබ් අඩවියට යොමු වීමට ඔබේ සිත බලකරයි නම් එය ෆේස්බුක් ඇබ්බැහියාව (Face book Addiction) ලෙස හඳුනාගත හැක.

Face book Addictionයනුවෙන් මානසික රෝගයක් හෝ අර්බුදයක් නොමැත. එහෙත් යමක් කෙරෙහි දක්වන ඇබ්බැහියාව මානසික අර්බුදයක හෝ මානසික රෝගයක ලක්ෂණයක් ලෙස ගත හැකි අතර එසේ නොවුණද එය යමෙකුගේ මානසික සමතුලිතතාවයට බරපතල හානි පමුණුවන්නක් බව කිව යුතුය.

සමහරුන් තමන්ගේ ෆේස්බුක් වෙබ් අඩවිය මගින් තමන් පිළිබඳ කරුණු අසීමාන්තික ලෙස සමාජගත කිරීමට උත්සාහ දරයි. ගමනක් බිමනක් යාමට හැඩ වැඩ වී තමන්ගේ ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට දමා ඊට අන්‍යන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන්නෝ බොහේ දෙනෙක් සිටිති. එමෙන්ම තමන්ගේ නිදන කාමරයේ යහන තිබූ තැන වෙනස් කළ පසුවද එහි ජායාරූපයක් ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුල්කරන්නන් වරින් වර දැකිය හැක. එමෙන්ම තමන්ගේ සැමියාට,බිරිදට කරනු ලබන පෞද්ගලික සන්නිවේදන ද සමහරෙක් ෆේස්බුක් මගින් සමාජගත කරති.

සාමාන්‍යයෙන් අප ගමනක් බිමනක් යාමට විශේෂ ඇඳුමක් ඇඳ මඟට බසින විට මේ ඇඳුමට මම ලස්සන දැයි ඉදිරියට හමුවන්නවුන්ගෙන් අසන්නේ නැත; එහෙත් සමහරෙක් ෆේස්බුක් වෙබ් අඩවිය මඟින් ඒ දේ එලෙසම කරති. මෙලෙස තමන් පිළිබඳව අති පෞද්ගලික දෑ සමාජගත කිරීම මූලික වශයෙන් වරදක් නොවුවද නිතර නිතර එවැනි දේ කෙරෙහි යොමු වීම ඒ තැනැත්තාගේ පෞරුෂය පිළිබඳව දෙවරක් සිතා බැලීමට අප පොළඹවනු ඇත.

එලෙස තමන් පිළිබඳව සීමාව ඉක්මවා සිතීම සහ අන්‍යයන් පහත් කොට තැකීම ආත්මරාගී පෞරුෂ ආබාධය (Narcissistic Personality Disorder) නම් මානසික අර්බුදයේ ලක්ෂණයකි. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට නම් ඒ තැනැත්තා සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි කළ යුතු බවද කිව යුතුය.

මේ අතරේ සමාජයේ ප්‍රකට පුද්ගලයන් ප්‍රබල සංවිධාන දැඩි ලෙස විවේචනය කිරීම ද ෆේස්බුක් වෙබ් අඩවියේ බහුලව දැකිය හැකිය. එම විවේචන ඇතැම් විට සාධාරණ වන අතර තවත් බොහෝ විවේචන වලින් ඒ සාධාරණත්වය ඉක්මවා එම මත පළකරන්නවුන්ගේ ද්වේෂය ඉස්මතුවෙයි. විවිධ ප්‍රකට පුද්ගලයන්ට සහ ප්‍රබල සමාජ සංවිධාන වලට දැඩිව පහරදීම ෆේස්බුක් වෙබ් අඩවිය මගින් නිතරම කරන්නේ නම් හෝ එමගින් පළවන අදහස් වලට වඩා ඒ පුද්ගලයාගේ ද්වේශය ඉස්මතුවන්නේ නම් එය ඔහු තුළ පවත්නා සමාජ විරෝධී පවුරුෂ අර්බුදයක් (Antisocial Personality Disorder) ලෙසට මූලික වශයෙන් අනුමාන කළ හැක. එමෙන්ම මෙය හීනමාන සංකීර්ණය (Inferiority) නම් මානසික අර්බුදයේ ලක්ෂණයක් ද විය හැකි අතර එහෙත් යමෙක් තුළ එවන් තත්ත්වයන් තිබේ දැයි නිශ්චයකට පැමිණිය හැක්කේ ද සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයකින් පමණි.

මීට අමතරව සමහරුන් ගේ ෆේස්බුක් පෝස්ටු කෙරෙහි බොහේ දෙනෙක් උරණවන අවස්ථා සහ ෆේස්බුක් හිමියා ඔවුන් සමග Reply මගින් අමුතිත්ත කුණුහරුපයෙන් බැණ ගන්න අවස්ථා පවා අපිට දැක ගත හැකිය. ෆේස්බුක් වෙබ් අඩවිය ඒ සියළු දේ සඳහා විවෘත අවකාශයක් ලබා දී ඇති බව නොරහසකි. එහෙත් ප්‍රසිද්ධියේ තම දෙමාපිය ඥාතිමිත්‍රාදීන් ඉදිරියේ අසභ්‍ය වචන නොපවසන්නෝ ෆේස්බුක් වෙබ් අඩවිය තුළින් අසභ්‍ය වචනින් බැණ ගැනීමෙන් ඒවා ඒ සියළු දෙනාටම දැනගැනීමේ විවෘත අවකාශයක් සලසති. මේ අතර තවත් සමහරු විරූපී, අස්වාභාවික, විකෘති සහ බිහිසුණු ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ෆේස්බුක් අඩවියට සමහරුන් ඇතුලු කර ගනු දක්නට ලැබේ.

මෘත දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන ඡායාරූපයක් පළකොට 'සංසාරේ හැටි මෙහෙම තමා' යනුවෙන් වදනක් ද එයට එක් කරන විට එහි කිසියම් යුක්ති සහගත බවක් දැක ගත හැක. ඒ සමගම දැඩි විරූපී බවට පත් පුද්ගලයෙකුගේ රූපයක් පළ කොට ඒ සමග 'මේ අසරණයාට පිහිට වන්න' යනුවෙන් සඳහන් කිරීමෙන් ද එහි කිසියම් සාධාරණත්වයක් ඇතැයි අපට හැ‍ගෙනු ඇත. තවද ගවයන් ආදී සතුන් ඝාතනය කරන වීඩියෝ ඇතමුන්ගේ ෆේස්බුක් ගිණුම්වල තිබී අපට කොතෙ‍කුත් හමුවේ. එහෙත් එවැන්නවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පැරණි පෝස්ටු එකිනෙක විමසා බැලීමේ දී එහි ඇති ඡායාරූප සහ වීඩියෝ වලින් වැඩි ප්‍රමාණයක් එවැනි විකෘති සහ විරූපී අස්වාභාවික ඡායාරූප නම් එමගින් ඔහුගේ මානසිකත්වය පිළිබඳ විමසීමට අප මූලිකව පෙළබවිය හැක.

කිසියම් නිශ්චිත අරමුණක් මුල්කොට එවැනි ‍විකෘති ඡායාරූපයක් ෆේස්බුක් අඩවියට එක් කිරීමේ වරදක් නැත. එහෙත් සමාජ මාධ්‍යයක් වන එය බොහෝ දෙනෙකුගේ නෙත ගැටෙන බැවින් එවැන්නක් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කිරීමට පෙර නැවත සිතා බැලිය යුතුය. නමුදු අත්‍යාවශම කරුණක දී නම් එහි කිසියම් වරදක් නැති බව ‍යමෙකුට හැඟී යා හැක. එහෙත් කිසියම් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුම තුළ විවිධ කරුණු මතු කරමින් එවැනි විරූපී, විකෘති, අස්වාභාවික සහ බිහිසුණු ඡායාරූප සහ වීඩියෝ නිතර නිතර ඇතුළත් කොට ඇත්නම් එමගින් ඒ තැනැත්තා තුළ මානසික බිඳ වැටීමක් මානසික අර්බුදයක් නැතහොත් මානසික රෝගයක් ඇති බව මූලික වශයෙන් අනුමාන කළ හැක.

මෙහිදී වැදගත් වන්නේ තමා තමා ගැනම ස්වයං විවේචනයකින්, ස්වයං බුද්ධියකින් යුතුව මේ ගෝලීකරණය වූ රාමුව තුල හැසිරීමයි. නැතහොත් විනෝදයට හෝ තමගේ සිතැගි පරිදි මේ රාමුව තුල ඒක පාර්ශික හෝ අන්තගාමී වීමෙන් තමාට නොදැනුවත්වම තමා, තමාගේ සිතුවිලි, මානසික පීඩාවන් කරා ඇදගෙනයනු ලබයි. කෙනෙකුට කියන්න පුළුවන් කවුද බන් ඔකේ දාන ඒවා අපි කරනවද,.අපි දාන්නේ බලන අය උසිගන්වන්න කියලා,...තර්කානුකුල නොවූ මනසක් ඇති, මේ පීඩනය වෙන් කර හදුනාගැනීමට නොහැකි එවැනි අය, මතක තියාගන්න; එවැනි දේවල්ද තමටන්ටම ආවේණික වෙන බව.

තමාගේ ගිණුමේ තමාට ඕනෑම දෙයක් පළකිරීමේ නිදහස ඔබ සතුය. එහෙත් ඒ අසීමාන්තික නිදහස තුලින් ඔබ ගොඩනගා ගතයුත්තේ, ගෞරවාන්විත කැඩපතක් සේම, යහපත් මානසික සෞඛ්‍යයක් නොවේද..

සටහන දමන්ති ගමගේ



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...