යුද්ධය කළ නිසා සොරකම් කළාට කමත් නැ කීවේද, යුද්දය දිනා දුන් එකාට එරෙහිව ඡන්දය ඉල්ලූ එකා හිරේ දැම්මාට කමක් නැත කීවේද, යුද්දය දිනා දුන් එකාගේ ඡන්දය වෙනුවෙන් ආණ්ඩුවේ බදු කාසි වලින් සිල්රෙදි අරක්කු බෙදුවාට කමක් නැත කිවේ ද, උසාවිය ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට දෙදෙනාට නියම කළ දඩ ගෙවීමට බුදුන් අනුදැන වදාළ පාත්‍රා සිවුරු ගෙන පාරට බැස්සේ ද, රටේ මුදල් ගසා කා අයුතු ලෙස පොහොසත්විම නිසාම හිරේ යාමට නියමිතව බැසිල් රාජපක්‍ෂ සමඟ පොහොට්ටුවට කඬේ යන්නේ ද, ලසන්තලා, එක්නැලිගොඩලා වැනි මාධ්‍යවේදින්ට කොටි හංවඩුව ගසා මරා දැමූ ගෝඨාභය ඉස්සර කොට එළිය සොයන්නේ මහින්ද චින්තනය විසින් කළ ගිහියන් සහ පැවිද්දන්යය. බිළිඳුන් දැරියන් කාන්තාවන් සිය ගණන් දූෂණය කොට පාටි දමා සතටුවන මානසිකත්වය අකුරැස්සේ සාරුව සුනිල්ට ලැබුණේ මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මහින්ද රට කරනතාක් නීතියට අධිකරණයට බිය විය යුතු නැත කියා සිතීම නිසා ඔවුන්ට වැරදිණ. අරක්කු බී ලයිසන් නැතිව වාහන එළවා මිනී මැරුවාත් බේරෙන්න පුළුවන් කියා සමහර සිවුරු දරන්නන් සිතුවේ ඒ නිසාය. ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරයා රාජකාරි ඉඩම් වික්කේද, නීති නියමය නොතකා ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂීක අය වැය වාර්තා ඉදිරිපත් නො කළේද, යුද වීර මහින්ද රාජපක්‍ෂ රට කරවන තාක් බේරිලා ඉන්ට පුළුවන් යන විශ්වාසය නිසාය.
මේ විස්තර කළේ ප්‍රභාකරන් පරාද කළ යුද මානසිකත්වය ශ්‍රී ලංකාවේ දකුණට සේන්දු වූ ආකාරයයි. මේ පිස්සුව සමාජ විනාසයකි. යුද්ධය අති බිහිසුණුවේ. ඊට මැදිවූ මිනිසුන් ගැහැනුන් සතුන් ලෙස හෝ නො සැලකෙයි. විශේෂයෙන් යුද්ධය සඳහා මුදාහළ සොබලුන් ඊටත් වඩා භයානකය. ඔවුන් ඊළඟ නිමේෂයේදි තමන් මැරුම් කෑමට නියමිත බව සිහිපත් කරගෙන හුස්ම ගන්නෝ වෙති. ඒ නිසා ම බිය නො හඳුනති. මිනිසුන් නො හඳුනති. හොඳ නරක නො හඳුනති. කෙනෙකුට දැනෙන බිය ගැන කල්පනා නො කරති. අතට පත් තුවක්කුවේ කොකා ගස්සන්නේ කාටදැයි බලමින් සිටිති. අඳුරේ ඇසෙන සද්දයටත් වෙඩි තැබුවාට ඔහුට සෝලියක් නැත. ඒ ආරක්‍ෂාව පිණිසය. තම බේරුමට ඕනැම දෙයක් කරන විනාශකාරි මනසකට පුරුදුව සිටිති. මේ පිරිස් සාමාන්‍ය සමාජයට වඩා වෙනස් වේ.
1971 කැරැල්ල කාලයේත් 88-89 භිෂණ යුගයේත් තිස් අවුරුදු යුද්ධය පැවති කාලයේත් වරද කර හසුවූ යුද සෙබලුන්ට මෙවැනි සුවිශේෂි සැලකිලි නො තිබිණ. කළ වරදට දඬුවම් නියතය යන පාඩම පණිවිඩය හැම යුද සෙබලෙකුට උගන්වා තිබිණ. එය හමුදා සාමාජිකයන් වෙතින් ආණ්ඩුවක් අපේක්‍ෂා කළ යුතු විනයකි. ඒ විනය පවත්නා තාක් කල් යුද්ධය හමුදා හැසිරීම්පාලනය වේ. රට ශීලාචාර වේ. ජනතාව සුරක්‍ෂිත වේ.
දිවයිනපුරා එකවර අනාරක්‍ෂිත වූ ප්‍රථම අවස්ථාව 71 කැරලි සමය විය. ඒ කාලයේ කිසිවිටෙක සාධාරණිකරණය කළ නොහැකි අමානුෂික සිද්ධින් වාර්තා විය. ඒවා නැවත තක්සේරු කරන විට ආරක්‍ෂාව පිණිස මනුෂ්‍ය ඝාතන සිදු කළ අවස්ථා මෙන්ම අත්අඩංගුවේ පසුවූ සැකකරුවන්ට කෲර වද හිංසා කළ එසේම ඝාතනය කළ අවස්ථාවන්ගෙන් කිසිවෙකුට නීතියෙන් ගැලවී යා නොහැකි විය. හමුදා අත්අඩංගුවේ සිටි, ප්‍රේමවතී මනම්පේරි කතරගම හමුදා අනු ඛණ්ඩයේ දී සමූහ දූෂණයට ලක් කොට නගර මධ්‍යයේ නිරුවතින් ඇවිද්දවීය. පසුව ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීය. එකී සිද්ධියට අදාළ නඩුවේදී සාක්‍ෂි දුන්, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධතා නිලධාරි කර්නල් නුගවෙල, නඩුවේ 1 චුදිත ලුතිනන් විජේසුරියගේ සටන් කෞෂල්‍ය අගය කරමින් ඔහු විශ්වාසය තැබිය හැකි උදාර නිලධාරියෙකු බව කීය. තිස්සමහාරාමය සහ කතරගම සාමාන්‍ය තත්ත්වයට පත් කළේ ඔහුගේ දක්‍ෂතාවය නිසා බව කීය. එහෙත් 1 චුදිත ලුතිනන් විජේසුරියට සහ සෙබල රත්නායකට ප්‍රේමවතී මනම්පේරි ඝාතන චෝදනාවට වැරැදිකරු කර බරපතළ වැඩ ඇතිව 16 වසරක සිර දඬුවම් නියම විය.තීන්දුවට එරෙහි ගොනු කළ අභියාචන තීන්දුවේ අදටත් බලපාන තින්දු ප්‍රකාශයක් නිකුත් විය. එහි මෙසේ දැක්වේ.
“1971 අප්‍රේල් 17 දින ප්‍රදේශයේ තත්ත්වය සටන්කාමි හෝ සාමකාමි වුනා විය හැකිය. එකී කුමන තත්ත්වයක් යටතේ වුවුද, අත්අඩංගුවේ සිටි සිරකරුවෙකුට වෙඩි තැබිම යුක්ති සහගත නොවේ. යුද්ධ නිතියට යටත් සෙබලෙකු සිවිල් නිතියේ ආරක්‍ෂකයකු ලෙස, පොලිස් වගකිම් දැරිය යුතුවේ. මේ වගකිම් ඉටු කිරීමේදී ඔහු සාමාන්‍ය පොලිස් නිලධාරියකු තරමටම සිවිල් නීතියට යටත් විය යුතුවේ. කිසිදු හමුදා නිලයකට නීති විරෝධි ක්‍රියාවත් කිරිමට අවසර නැත. ඉහළ නිලධාරියකු දෙන නීති විරෝධි නියෝගයකට අවනතවීමද වරදකි. ඒ බව මනම්පේරි නඩු තීන්දුව සහතික කරයි.” උපුටා ගැනීමකි.(විජේසුරිය එ. රජය 77(NLR 25) අදටත් මහජන ආරක්‍ෂාව මෙන්ම සිවිල් අයිතිවාසිකම් ද එදා මෙන්ම සුරක්‍ෂිත ය. කොළඹ පවත්නා උද්ඝෝෂණ මැඩීමට ක්‍රියා කරන පොලිස් නිලධාරින්ට එරෙහිව නිතිය අදටත් දැඩිව ක්‍රියාත්මක වීම ඊට හොඳම උදාහරණකි.
1989දී ඇඹීලිපිටියේ පාසල් දරුවන් ඝාතනය කළ හමුදා නිලධාරින්ට දඬුවම් දී්මේදී ඔවුන් අනාරක්‍ෂිත තත්ත්වය පාලනය කිරිමට දැක්වූ කැපවීම සැලකිල්ලට ගත්තේ නැත. 1996දී යාපනේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය දූෂණය කොට මරා දැමූ යුගය බඩදරු අම්මලා පවා ඇවිදින බෝම්බ ලෙස යොදා ගත් යුගයකි. ඒ තත්ත්වය යුද කාලයේ සේවය කිරීම නිසා සෙබලෙකුට අපරාධයකින් බේරිය හැකි ව්‍යතිරේකයක් නිතියෙහි නැත. එවැනි යුද පරිසරයක පවා සාමාන්‍ය නීතිය ඉහළින් පැවතිය යුතු බව අධිකරණය විශ්වාස කරයි. ප්‍රේමවති මනම්පේරි (1971) ඇඹීලිපිටිය සිසු ඝාතන (1989) ක්‍රිෂාන්ති කුමාරස්වාමි (1996) ආදි අපරාධ පරීක්‍ෂණවලදී අපරාධ අවස්ථාවන්හී හමුදා මැදිහත් වීමෙන් සිදුවු අපරාධ ගැන වගකිව යුතු අයට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරිම ගැන ශ්‍රී ලංකාවට ඇත්තේ නිකලැල් ඉතිහාසයකි. ආරක්‍ෂක සේවා යනු තවත් රජයේ රැකියාවකි. තනතුරට ලැබෙන නිල ඇඳුමට ගිනි අවියට මුවාවී මිනි මැරීමට, මංකොල්ල කෑමට ස්ත්‍රීන් දූෂණය කිරීමට ජනතාව බිය වැද්දීමට නිතියෙන් ඉඩක් නැත.
යාපනේ මිරිසුවිල් ඝාතන නිසා, මරණ දඬුවම ලැබෙන තෙක් සෙබල රත්නායකට කිසිවෙකු රණවිරු සාටකය පැළඳුවේ නැත. හේතුව සෙබල රත්නායක අපරාධය සිදුවන විට, රාජපක්‍ෂ කල්ලියට අයත් මිනීමරු කොන්ත්‍රාත් සිදු කළ තක්කඩියෙකු නොවීමය. දැන් සෙබල රත්නායකගේ පවුලේ අයට මහින්ද චින්තනය අදහන චීවරධාරින් පිරිත් නූල් බඳීති. ඒ රට අවුස්සන පුවතක් පළ කර, රණවිරුවන් ඇවිස්සීමටය. චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනි මැරුම් නඩුව අස්කර ගත්තාට ඉහත කී කිසිදු රණවිරුවෙකු වෙනුවෙන් රාජපක්‍ෂලා හෝ රණවිරු උණ කාරයන් කැපවී නැත.
අපරාධකරුවන් තක්කඩින් රණවිරු සාටකයෙන් අරහත් චීවරයෙන් වසා රකින්නේ රාජපක්‍ෂලාට ලෙන්ගතු නම් පමණකි. රාජපක්‍ෂලාටත් ඔහුව කර තබා යන භික්‍ෂුන්ටත් මේ රණවිරු උණ බුද්ධි අංශ කුලප්පුව ඇතිවුණේ 2015 ජනවාරියේ පරාද වුනාට පසුවය. පලා යාමට තැත් කළ සැකකරුවෙකුට තැබූ වෙඩි තබා මැරූ මේජර් විමල් වික්‍රමගේ අධීකරණයෙන් වැරදි කරුවිය. ඝාතනය වූ ද්‍රවිඩ ජාතිකයාගේ වැන්දඹුවට රුපියල් 20,00000/- වන්දියක් සමඟ රුපියල් දස දහසක දඩ මුදලකට සහ දස වසරක් අත් හිටුවූ දෙ වසරක සිර දඬුවමක් මේජර් විමල් වික්‍රමගේට නියම විය. ඒ සිද්ධිය 1998 දී සිදුවූ එකකි. මේජර් විමල් වික්‍රමගේ 2000දී අත්අඩංගුවට පත් විය. නඩුව ඇසුණේ රාජපක්‍ෂ පාලන කාලයේය.
මේජර් වික්‍රමගේට දඬුවම් නියම කළේ 2016 අගෝස්තු 31 දින ය. වසර 16 ක් රැකියාව හෝ නො තිබුණ මේජර් විමල් වික්‍රමගේ වැන්නෙක් සිටියාදැයි පිණ්ඩපාතයේ වැඩි හිමිවරුන් දැන සිටියේ නැත. 22 දෙවසරක් හමුදා සේවයට ජීවිතය කැප කළ මේජර් වික්‍රමගේ රණවිරුවෙකු වුණේ උසාවියේ වරදකරු වී දඬුවම් නියම කළ පසුවය. ඔහුට නියම කළ වන්දි මුදල සඳහා රටපුරා සම්මාදම් කිරිමට උත්සුකවූ කිසිවෙකු සංඝයා මෙහෙයවා උසාවියේ හර්තාල් කරවා නැත. චන්දන කත්‍රිආරච්චිට මෙන් ඇසෙන නඩු අස්කර ගැනීමට කිසිවෙකු ක්‍රියා කර නැත. මේ රණවිරු කුලප්පුව රටේ ගෞරවයට, සාමාන්‍ය ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයකි. මේජර් වික්‍රමගේට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වීම නීතියේ වරදක් හෝ දුර්වල කමක් නොවේ. දොඩම්පේ මුදලාලි, ප්‍රේමවතී මනම්පේරි, විජේදාස ලියනාරච්චි ආදි ඝාතන ආන්දොලනාත්මක වුනේ ඉහත කී ජාත්‍යන්තර නිති තත්ත්වය නිසාය.
අවසාන වශයෙන් මනම්පේරි ඝාතකයා හිර ගෙදරදී විඳී වේදනා මෙසේ වාර්තා වී ඇත. “ඇල්ප්‍රඞ් විජේසුරිය කියන මිනිහා හිරේදී පිස්සු හැදිලා කකුලේ පණුවෝ හැදිලා මැරුණේ. රත්නායක හිරෙන් නිදහස් වෙලා පැමිණි පසුව පිහියා ඇනුමකින් මැරුණා. මේක තමයි ධර්මය” ( 325 පිට. රටක් කැළඹු පුවතක අලුත් කතාව කර්තෘ උපාලි සමරසිංහ)මේ උපුටා ගත්තේ ප්‍රේමවතී මනම්පේරිට කළ අපරාධය සිහිපත් කළ කෙනෙකුගේ ප්‍රකාශයකිනි. ඒ අනුව, රණවිරු කුලප්පුව සැදුණ සිවුරු දරන්නන් ගිහියන් මේ කරන්නේ අපා ගතවන පාප කර්මයකි. අපරාධ කරුවෙකු සුද්ධ කරන්නේ තවත් අපරාධ කාරයෙකු විසිනි.
ගිය සතියේ ගෝඨාභය රාජපක්‍ෂ අපෙන් එකෙක් කියා පුවත්පත් දැන්විම් පළ විය. ඊයේ අභියාචනාධිකරණය ගෝඨාභයගේ වාසියට වාරණයක් නිකුත් කළහ. නීතිපති උපුටා දක්වමින් එකී නියෝගය ඒකපාක්‍ෂිකව බව ඊයේ දිනමිණ පුවත්පත වාර්තා කළේ ය. ලබන දෙසැම්බර් 6 වැනි දින නිතිපතිවරයා ගෝඨාභයගේ වාසියට දුන් එකී නියෝගයට එරෙහිව කරුණු දැක්විමට නියමිතය. අලු ගෝසුවන්ට සලුපිළි අන්දවන තක්කඩින් රණවිරුවන් කරවන මේ නරුම ව්‍යාපාරය මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහවූ පසුව වැළඳුන පිස්සුවකි.
No comments:
Post a Comment