Wednesday, November 15, 2017

අතේ බුදුරුව පච්චකෙටූ කත අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට දඬුවම්

සිය බාහුවේ ඉහළ කොටසේ බුදුරුව සහිත පච්චයක් (ටට්ටූ )කොටා තිබුණ හෙයින් අත්අඩංගුවට ගෙන 2014 වසරේ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලද බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

නයෝමි කෝල්මන් නම් එම කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අටලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි බ්‍රිතාන්‍ය කාන්තාව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට හවුල් වූ පොලිස් නිලධාරීන් විසින් එක් නිලධාරියකු රුපියල් පනස් දහස් බැගින් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී ජේ.සී.වැලිඅමුණ ප්‍රකාශ කළේය.

ඇය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ කරුණු දැක්වීමට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා තමාගෙන් කිසිදු කරුණු විමසීමක් නොකර පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කළ බව යළි සියරට පැමිණි නයෝමි කෝල්මන් බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියාය.

නයෝමි කෝල්මන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීමේ සිද්ධියට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලද අතර, බුදු රුවක් අතේ පච්ච කොටා තිබීම නිසා පුද්ගලයකු රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදිහු පෙන්වා දුන්හ.

කිසියම් තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ හැක්කේ රටේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කළේ නම් පමණක් බව පෙන්වා දුන් මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන්නේ විදේශ ඇමතිවරයාට පමණක් බව බීබීසියට අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

සැදැහැවත් බෞද්ධයකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ “බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා” යයි නයෝමි කෝල්මන් පවසා ඇත.

බොහෝ විදේශිකයෝ බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා බෞද්ධ සංකේත ඔවුන් සමඟ තබා ගන්නා බවට පසුගිය කාලයේ වාර්තා ලැබුණි.
හිටපු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ බුදු රුවක් තබා ගෙන සිටින බව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර තිබුණි.

‘ආශීර්වාද පිණිස මෙන්ම සිහිවටන වශයෙන්’ තමා වෙත ලැබුණු දෑ ජනාධිපතිවරයා සිය කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන එම සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය ඉදිරියේ ප්‍රදර්ශනය කළ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දුන් කුඩා බුදු පිළිමයක්ද ඒ අතර විය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...