දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ දරා ගැනීමට හැකිවිය යුතුය. ඊයේ බූමිතෙල් වැදුනු ගැරඬියෙකු ලෙස හැසුරුනු ජනාධිපතිවරයා, වෙබ් අඩවි තහනමින් ඔහුට මඩ ගසන අය නතර කල හැකියයි සිතන්නේ නම් මෝඩයෙකි.
ඊනිවුස් හිටපු ජනාධිපතිවරායා ඇමරිකාවේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින විට ඔහුගේ පයියේ එක්ස් රේ එකක් බිත්තියේ එල්ලා, ඔහු ඇඳේ සිටිමින් නාමල්ට තරුණ කාලේදී හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස්දෙන කාටූනයක් පලකල දින රාත්‍රියේ "කවුදෝ කට්ටියක්" මුලු කාර්‍යාලයම ගිනිතිබ්බේය.(ඒ ගිණි තැබූ අය ගැන අලුත් ආණ්ඩුව කිසිම පරීක්‍ෂණයක් කර නැත) ඊට පසුව ඊනිවුස් තහනම් කලේය. නමුත් ඊනිවුස්වත් මහින්දව විවේචනය කරන අයවත්, මඩ ගසන අයවත් නතරවූයේ නැත. එයින් වූයේ ඊනිවුස් තවතවත් අසීලාචාර ලෙස රාජපක්‍ෂලාට බැන වැදීමය.
සාමාන්‍ය මිනිසුන් පසෙක තිබේවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන යහපාලනය ගැන දොඩවන මහාචාර්‍යවරු පවා මට කීවේ එහෙම කිව්වෙ නැත්නම් මුන්ට (රාජපක්‍ෂලාට) නොතේරෙනබවය. මඩකරියෝ හැම දාම මඩ ගසති, කට කතා පතුවරති, කැළෑ පත්තර ගසති - නව තාක්‍ෂණය එන්නට පෙර කරපු දේම අදත් කරති. ඊයේ ඊනිවුස් තහනම් කිරීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයාට වත්මන් ලෝකයේ මාධ්‍ය තබා පොළොන්නරුවේ කටකතා කැළෑ පත්තර දේශපාලනය ගැනවත් අවබෝධයක් නැති බවය.
යහපාලනයක් ගැන කතා කරන ජානාධිපතිවරයෙකු බූමිතෙල් වැදුනු ගැරඬියෙකු ලෙස හැසිරීම හොඳ නැත. හාමුදුරුනමකගේ අනුස්මරණ උත්සවයකදී කොහොමත් හොඳ නැත. මේවා කරන්නේ එතුමා "ලබා දුන් නිදහස" අයුතුලෙස භාවිතා කිරීමෙන් යැයි කීම ඊට වඩා ගොන් කමකි.
මාධ්‍ය සීලාචාර කිරීමට අවශ්‍ය නම්ජනාධිපතිවරයා පලමුවෙන්ම සිය පුතාගේ අධීක්‍ෂණය යටතේ, ජනාධිපති ලේකම් කාර්‍යයාලයේ වැටුප්/වාහන/ හා අනෙකුත් වරප්‍රසාද ලබාදෙමින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ජනාධිපති ගෝලයින්ගේ මඩ වෙබ් අඩවි නතර කර පෙන්විය යුතුය.
No comments:
Post a Comment