හිටපු හමුදා නිලධාරි කමල් ගුණරත්න ද්‍රෝහීන් මරාදැමීම ගැන කළ ප්‍රකාශය අනාගත රාජපක්‍ෂ ආණ්ඩුවක හැඩරුව මේයැයි පෙන්වන හොඳ කැඩපතකි. ඔහුගේ කතාවෙන් පෙනෙන විදියට ඔවුන් බලාගෙන ඉන්නේ තමන්ට ද්‍රෝහී වන අය මරාදමන්නට තමන්ට බලය ලැබෙන තෙක්ය. එහෙත්, ඒ රාජපක්‍ෂවරුන්ගේ අනාගත හැඩරුව පමණක් නොවේ. ඔවුන්ගේ අතීත වැඩ වාර්තාවද එලෙසමය. විශේෂයෙන් මෙවැනි වියරු අදහස් පළකරන කමල් ගුණරත්න වැන්නකු නායකත්වය සැපයූ යුද පිටියේ තත්ත්වය කොහොම වන්නට ඇත්දැයි සිතාගත හැකිය.
අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වුවමනාවෙන් වැඩකරන්නන් එය කරන්නේ තුවක්කු බෝම්බ වැනි ආයුධ සන්නද්ධව නොවේ. මතවාදී තලයේය. එවැනි මතවාදී තලයක සිය අදහස් පළකරන්නවුන් පවා, ද්‍රෝහීන් ලෙස සලකා ඔවුන් මරාදැමිය යුතුයැයි ගුණරත්න කියන විට, ආයුධ සන්නද්ධව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ උතුරේ සන්නද්ධ දෙමළ තරුණයන් සම්බන්ධයෙන් ඔහු පසුගිය යුද්ධය කාලයේ කොහොම කටයුතු කරන්නට ඇත්දැයි හිතාගන්නට පුළුවන. ඒ අනුව හිතනකොට ලංකාවේ යුද අපරාධ සිදුවුණායැයි කියන චෝදනා බොරු ඒවා නොවන බව සාධාරණ මනසකින් යුතු ඕනෑම කෙනකුට නැවතත් පැහැදිලි වනවා ඇත.
කමල් ගුණරත්න කීවේ මෙලෙසයි. ‘දේශයේ දරුවන් ලෙස ඉපිද දේශය නසන්නට තැත්කරන්නේ දේශද්‍රෝහීන්. සරත් වීරසේකර මහතා කියනවා වගේ දේශද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ.. අපි 87, 88, 89 කාලයට ගිහින් බැලුවොත්, ඔබට මතක ඇති හැම තැනම ජවිපෙ ලියලා තිබුණා දේශද්‍රෝහීන්ට මරණය කියලා. එහෙනම් දේශද්‍රෝහීන්ට හිමිවිය යුතු දඬුවම මරණයයි. (සභාවේ අත්පොලසන් හා ‘ජයවේවා’ හඬ) රට පාවාදෙන, රට කැබලිවලට කඩන දේශද්‍රෝහීන් ඉන්නවා නම් ඒ දේශද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ මරණයයි. 87, 88, 89 ජවිපෙ ත්‍රස්තවාදය කාලයේ දේශද්‍රෝහීන් කියලා මරපු මිනිසුන්ගේ මිනිය කනත්තට ගෙනියනකොට පොළවෙන් අඟල් හයකට වැඩිය උස්සන්න දුන්නේ නැහැ. කඹ දාලා අරන් ගියේ. මේ දේශද්‍රෝහීන්ගේ මිනියටත් ආචාර දැක්විය යුත්තේ එහෙමයි.’ (සභාවේ අත්පොළසන්.)
පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කමල් ගුණරත්න මේ වෛරය වෑහෙන කතාව කරන්නේ එසේ මෙසේ තැනකදී නොවේ. ‘වියත් මඟ’ සමුළුවකදී, ගම්පහදීය. වියත් මඟ ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණයට සුදානම් කිරීම සඳහා සංවිධානය කෙරෙන රැස්වීම් මාලාවක් නිසා කමල් ගුණරත්නගේ ප්‍රකාශය සංකේතාත්මකවද වැදගත්ය. දේශද්‍රෝහීන්ට හිමිවිය යුතු දඬුවම මරණයයි කියා ගුණරත්න කියන විට ඒ සභාවේ සිටිය අය අත්පොළසන් දුන්හ. ‘ජයවේවා’ කියා කෑගැසූහ. ඒ අනුව ඒ සභාවේ සිටින්නට ඇත්තේ කෙබඳු පිරිසක්ද යන්නත් සංකේතාත්මකව වැදගත්ය. ගුණරත්නගේත්, සභාවේත් එකම ප්‍රාර්ථනය, ‘ද්‍රෝහීන්ට මරණය’යි. ඔහු තවදුරටත් කියන්නේ ඒ මළමිනී පොළොවෙන් අඟල් හයකට වඩා උස්සන්නටත් නොදිය යුතු බවය.
ඇත්ත වශයෙන්ම කමල් ගුණරත්න අද යෝජනාකරන මේ ඝාතන හා අවසන් කටයුතු කිරීමේ ක්‍රමය, එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් පෙනීසිටි ජනතා විමුක්ති පෙරමුණ කරගත් ඓතිහාසික වරදකි. තමන්ට එරෙහි මත දරන්නන් ඝාතනය සඳහා ජවිපෙ එදා අනුගමනය කළ තිරිසන් පිළිවෙත, අදත් ජවිපෙට එරෙහිව යොදාගන්නා, ඔවුන්ගේ ඉතිහාසයේ මැකිය නොහැකි කළු පැල්ලමකි. දේජව්‍යා ඒ මොහොතේ ‘ද්‍රෝහීන්’ ලෙස හංවඩු ගැසූ පිරිස අතර සිටි ප්‍රමුඛ කණ්ඩායමක් නම් හමුදා සාමාජිකයන්ය. දේජව්‍යා කීවේ, හමුදා සාමාජිකයන් නියමිත දිනයකදී හමුදාවලින් ඉවත් නොවුණහොත්, ඔවුන්ගේ පවුල් පිටින් ඝාතනය කරන බවයි. ඒ ඝාතනය වන්නන්ට හිමිවුණේ, පොළොවෙන් අඟල් හයක්නවත් උස්සාගෙන මිනිය ගෙනයන්නට බැරි ආකාරයේ තිරිසන් සැලකිල්ලකි. අද, බලලෝභයෙන් වියරු වැටි සිටින කමල් ගුණරත්නට, මේ තිරිසන් පිළිවෙත එදා දේජවයා යොදාගත්තේ තමන් වැනිම හමුදා සාමාජිකයන්ට එරෙහිව නොවේදැයි තේරුම්ගන්නටවත් ඉස්පාසුවක් නැති බව පෙනෙයි.
කමල් ගුණරත්නගේ මේ වෛරය වෑහෙන කතාවත්, මහත් අසහනකාරී බවක් පෙන්වූ ඔහුගේ ශරීර භාෂාවත් විසින් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂට ‘වියතුන්’ ලෙස හැඟෙන සමහර අය, පශ්චාත් ක්‍ෂතිමය පීඩන අවුල නම්වූ මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය බවයි. යුද්ධයකට වැනි ව්‍යසනකාරි අත්දැකීමකට සහභාගිවී සිටි හෝ එවැන්නක් අත්විඳි කෙනකුට ඉන් ඉවත්වුණු පසුව, ඇතිවන බලවත් මානසික අසහනකාරී ස්වභාවය එනමින් හැඳිින්වෙයි. ඒ ක්‍ෂතිමය අත්දැකීමේ මතකයන් විසින් ඇතිකරන මානසික අවතාර,’බලවත් කාංසාව සහ පාලනය කරගත නොහැකි චිත්තාවේගයන් එම මානසික අවුල් තත්ත්වයේ ලක්‍ෂණ බව ලුහුඬින් දැක්විය හැකිය. නොසන්සුන් මනසක් ඇති, සාමාන්‍ය සමාජයත් යුද පිටියක් සේ සලකා හැසිරෙන, ඕනෑම මොහොතක යළි අපරාධයකට යොමුවිය හැකි පුද්ගලයෝ ඒ මානසික තත්ත්වයෙන් පෙළෙති. මෙවැනි තත්ත්වයක් සමනය කරගත හැක්කේ මානසික ප්‍රතිකාරවලට යොමුවීමෙනි. යුද්ධයකින් පසු ඊට සහභාගිවුණු හමුදා සෙබළුන්ට පශ්චාත් ක්‍ෂතිමය පීඩන අවුල සමනය කිරීම සඳහා අවශ්‍ය වන මානසික වෛi ප්‍රතිකාර සැපයීම ලෝකයේ පිළිගත් දෙයකි. ලංකාවේද හමුදා තුළ පසුගිය කාලයේ අඩු වැඩි වශයෙන් මේ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක වුණේය. එහෙත් අවාසනාවකට මෙන්, ඉහළ හමුදා නිලධාරියකු නිසා, කමල් ගුණරත්න එවැනි ප්‍රතිකාර වැඩසටහන්වලට සහභාගි නොවන්නට ඇත. ඒ වෙනුවට ඔහු කළේ යුද්ධයේ අත්දැකීම්වලටම ලොල් වෙමින්, ඒවායෙහිම තවදුරටත් ගැල්වී සිටිමින්, යුද්ධයේ කීර්තිය තමා වෙත දිනාගන්නට යුද්ධය උත්කර්ෂයට නංවමින් පොත් ලිවීමය.
අනෙක් අදහස සරත් වීරසේකරගේය. ඔහු හිටපු නාවික හමුදා නිලධාරියෙකි. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා හිරු නාලිකාවේ බලය වැඩසටහනට සහභාගි වෙමින්, සංහිඳියාව ගැන මහජන අදහස් විමසා වාර්තාවක් සකස්කළ කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ද්‍රෝහීන් ලෙස හැඳින්වූ වීරසේකර මෙසේ කීවේය. ‘වර්තමාන පාලකයෝ සහ ඩොලර්වලින් යැපෙන එන්ජීඕ අය, සිංහල ෆෙඩරල්වාදීන් සියලු දෙනාම මගේ අදහසට අනුව දේශද්‍රෝහියෝ. අපේ රජයක් නැවත වරක් බලයට ආවොත් අපි දේශද්‍රෝහී චෝදනාව යටතේ ඒ අයව අනිවාර්යයෙන්ම උසාවි ගෙනෙනවා. උසාවියේදී සැකයෙන් තොරව ඔප්පු වුණොත් ඒ අයට මරණ දඬුවම දෙනවා. අනිවාර්යයෙන්ම අපි එල්ලුම් ගහ කොමිෂන් කරනවා. (ක්‍රියාත්මක කරනවා.)’
අනෙක් කතාව විමල් වීරවංශගේය. ‘යදමින් බැඳි අක්‍ෂර’ නම්වූ ඔහුගේ පොත එළිදැක්වූ උත්සවයේදී ඔහු කළ කතාවේ අවසාන කොටස මෙසේය. ‘සංහිඳියාව හැදෙනවයි කියලා බණ කියමින් ඉතිරිවී තිබෙන සංහිඳියාවත් මරාදාන ව්‍යවස්ථා කෙටුම්පතක් තමයි අද අප ඉදිරියේ සාකච්ඡා වෙන්නේ. ඒ වගේ භයානක අපරාධයක් කරනකොට අත උස්සන්නේ නැතුව ඉන්න මන්ත්‍රීවරු 76ක් නැත්නම් එහෙම 76ක්වත් නැති පාර්ලිමේන්තුවකින් කොස් කොටන්නද? නැත්තං ඔය පාර්ලිමේන්තුවට ඊට පහුවෙනිදා උඩින් ගිහින් බෝම්බයක් දාන්න ඕනෑ.’
විමල් වීරවංශගේ මේ කතාව කරන විට පාර්ලි මේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන උඩදමමින් කතාකරන මහින්ද රාජපක්‍ෂද, බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද ශාලාවේ අසුන්ගෙන සිටියහ. ඒ කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය වන පාර්ලිමේන්තුවට බෝම්බ දමා විනාශ කිරීම ගැන වීරවංශගේ මේ වෛරක්කාර අදහසට විරුද්ධ වුණු බවක් දැනගන්නට නැත. හැම කාරණයක් ගැනම මාධ්‍ය නිවේදන නිකුත් කරන මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේද නැත.
ඉදිරි රාජපක්‍ෂ පාලන කාලයකදී මේ තුන්දෙනා එකට හිටියොත් විය හැකි දේ මොකක්ද?
මේ දිනවල අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාකරන සියල්ලන්ගේම නම් ලැයිස්තු තබාගෙන සිටින කමල් ගුණරත්න ඔවුන් හොය හොයා මරා දමනු ඇත. ඉන්පසු, මෘතදේහය පොළවට වඩා අඟල් 6ක්වත් උස්සන්නට නොදෙන බවට තර්ජනය කරන ලියුම් ඒ මරාදැමූවන්ගේ නිවෙස්වලට ගොස් බාරදෙනු ඇත. එපමණක් නොවේ. දේජව්‍යා මෙන් මළගෙදර විදුලි පහන් දැල්වීමද තහනම් කරනු ඇත. එක මොහොතක පස් දෙනකුට වැඩියෙන් මළගෙදර එක්රැස්වීම තහනම් කරනු ඇත. ලණු දමා පහළින් ගෙනගිය මෘතදේහය වළදැමූ පසු පස් ගොඩක් ලෙස සැකසීම තහනම් කොට පස් සමතලා කළයුතුයැයි නියම කර, මළවුන් සිහිකිරීමට සිහිවටන තැනීමද තහනම් කරනු ඇත. යම් කිසිවකු ඒ අණ නොතකා සිටියහොත්, කමල් ගුණරත්නගේ අණට අකීකරු වීම නිසා ඒ සියල්ලන්ටමද හිමිවනු ඇත්තේ මරණයයි. මෙවැනි සිතීමක් ඇති අයගෙන් යුද අපරාධ සිදු නොවුණායැයි කිවහැක්කේ කෙසේද? සරත් වීරසේකරට අනුව, ඔවුන් බලයට පැමිණි වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ඇත. ඒ මිනීමරුවන් එල්ලා දැමීමට නොවේ. අලුත් ව්‍යවස්ථාවක් හදන අයත්, අද රට පාලනය කරන අයත් එල්ලා දමන්නටය.
මේ මහත්වරුන් තුන්දෙනාම කැපවී සිටින්නේ මරාදැමීමටය. මරණ දඬුවම් දීමටය. බෝම්බ ගැසිීමටය. වරද අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් වෙහෙස මහන්සි විමය.
පශ්චාත් ක්‍ෂතිමය පීඩන අවුල යන මානසික රෝගය තිබෙනවුන්ට හැම දෙයක්ම පෙනෙන්නේ අපේ එකා හෝ ත්‍රස්තවාදියා යන ප්‍රතිපක්‍ෂ දෙකෙන් එකක් හැටියට පමණකි. තමන්ට විරුද්ධ වන එකා ත්‍රස්තවාදියා ලෙස සලකා, ඝාතනය කිරීම ඔවුන්ගේ යුදබිමේ පළපුරුද්දයි. එහිදී නීතියක් නැත. දැන් යුද්ධය අවසන් වී තිබේ. එහෙත්, ඔවුන් දකින විදිය වෙනස්වී නැත. යුද්ධයේදී මෙන් අද ආයුධයෙන් වෙඩි තබා හිතුවක්කාර ලෙස මරාදැමිය නොහැකිය. ඒ නිසා සරත් වීරසේකර බලාපොරොත්තු වන්නේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන්නටය. ලංකාව 1976න් පසු මරණ දඬුවම ක්‍රියාත්මක කර නැත. ඒ අපේ පාලකයන් හොඳ නිසා පමණක් නොවේ. ශිෂ්ට ලෝකයේ මරණ දඬුවම තිරිසන් දඬුවමක් හැටියට අද පිළිගැනෙන නිසාය. වීරසේකරගේ වුවමනාව ඒ තිරිසන් දඬුවම යළි ක්‍රියාත්මක කිරීමටය. ගෝඨාභයගේ බුද්ධි මණ්ඩලයේ සාමාජිකයකු හැටියට පෙනීසිටින වීරසේකරගේ කතාබහ තුළ ඔහුට මතවාදීව විරුද්ධ වන්නන් ද්‍රෝහීන් ලෙස නම්කිරීම සාමාන්‍ය පුරුද්දකි. ඔවුන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමද සාමාන්‍ය පුරුද්දකි. ඕනෑම ප්‍රසිද්ධ විවාදයකදී ඔහු ඒ මරණ දඬුවම වෙනුවෙන් පෙනීසිටියි.
විමල් වීරවංශ යනු හිටපු හමුදා සාමාජිකයකු නොවුණත්, මරණය හා ඝාතනය සාධාරණය කරමින් තිබුණු ඊනියා සන්නද්ධ කැරැල්ලක ආස්වාදය සිය ශිෂ්‍ය අවධියේ වින්දෙකි. ජේආර් ජයවර්ධනගේ ආණ්ඩු කාලයේ, 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රටේ විශාල විනාශකාරී කැරැල්ලක් ඇතිකොට බලය අල්ලාගන්නට හැදුවේ ඔහුගේ පක්‍ෂයයි. එහි මුල් පියවරක් හැටියට 1987 අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්‍ෂ රැස්වීමට බෝම්බ ගැහුවේ ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අජිත් කුමාරය. එහිදී කීර්ති අබේවික්‍රම ඇමතිවරයා හා තවත් පුද්ගලයෙක් මියගියෝය. ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබීය. ඒ නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ගැන අදහසක් ඔහුට එන්නේ පරණ පුරුද්දකිනි. යටිගිරියෙන් කෑගසමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආවේගාත්මක දේ කිව්වත් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරනවුන්ට ඇති තෝරාගැනීම බෝම්බ සහ ඝාතනයයි. එය ඔවුන්ගේ ජීවිතවලම කොටසකි. විමල් වීරවංශගේ පක්‍ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක, ඇත්තට හෝ බොරුවට විමල්ගේ ප්‍රකාශය හෙළාදකිමින් කියන්නේද ඒ ඇත්තයි.
මේ ප්‍රකාශ තුන පුද්ගලයන් තිදෙනකුගේ පෞද්ගලික ප්‍රකාශ නොවේ. රාජපක්‍ෂ මතවාදයේම දිගුවකි. අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්නට හදනවුන් රට බෙදන්නට හදන ෆෙඩරල්වාදීන් බව කියන්නේ මහින්ද රාජපක්‍ෂයි. මේ තිදෙනා ඔහුගේ මතය ඉදිරියට ගෙනයමින් එලෙස ව්‍යවස්ථාව ගැන කතා කරන්නවුන්ට මරණය අත්කර දිය යුතුයැයි කියන්නෝය. මේ අදහස් දෙක සහාය දිවීමේ තරගයක පියවර දෙකකි. ඒ පියවර දෙක සම්පූර්ණ වූ විට පෙනෙන්නේ අනාගතයේ රාජපක්‍ෂ පාලනයක ඇති විනාශකාරී හැඩරුවයි. එවැනි පාලනයක් ඇතිවීම තවදුරටත් හැකි වැර යොදා වැළැක්විය යුත්තේ, මෙවැනි විනාශකාරීන් විසින් රට යළිත් ලේ විලක් කිරීමෙන් ගලවාගත යුතු නිසාය....
වධක තුන්කට්ටුව
රාවය
Nimthera - නිම්තෙර
No comments:
Post a Comment