Sunday, November 12, 2017

මාධ්‍ය ආයතනයක ත්‍රස්තවාදය


මාදුළුවාවේ නායක ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණ උත්සවයේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපතිතුමා විසින් ඉතාමත් බරපතළ ප්‍රකාශයක් කරනු ලැබීය. එසේම මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විදග්ධ හා දැඩි විවේචනයක් එල්ල කළේය. එම විවේචනය මගින් වර්තමානයේ ජන වරමට පිටින් කටයුතු කරන බවට සාධක හා උදාහරණ ගෙනහැර දක්වමින් සභාවේත්, රටේ සියලුම ජාතික මාධ්‍යයන් සහ සමාජ ජාලා වලත් අවධානය දිනා ගත්තේය. එහි ප්‍රධානම චෝදනාවක් වූයේ හොරු ඇල්ලීමට ඇති නොහැකියාවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමත්ය. පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද අනේකවිධ දූෂණයන් සිය දහස් ගණනකි. නමුත් වර්තමාන ආණ්ඩුවට හා පොලීස් දෙපාර්තමේන්තුවට විමර්ශනය කොට නඩු පැවරීමට හැකිව ඇත්තේ නඩු විස්සකටත් වඩා අඩු සංඛ්‍යාවකි. තවත් විමර්ශන අවසන් කළ නඩු නිමිති හැට පහකට වඩා වැඩි සංඛ්‍යාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබේ. එසේම මහාචාර්ය විජේසූරිය ප්‍රකාශ කළ පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ අකාර්යක්ෂමතාවයෙන් එළිපිටම මහ දවල් මංකොල්ල කෑ පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂවරු ප්‍රමුඛ සියලුම දෙනා නිරුපද්‍රිතව ඔවුන්ගේ කටයුතු කරගෙන යමින් සිටී. එසේම ඔවුන් දේශපාලනයේ යෙදෙමින් ආණ්ඩුවට කෝචොක් ද දමමින් සිටියි. ඇත්තවශයෙන්ම ඔවුන් සිටිය යුත්තේ දහයයි දහයේ සිර මැදිරියකය.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වල ඇති අකාර්යක්ෂමතාවය පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ලවී විජේදාස රාජපක්ෂ මහතාට ඇමති ධූරය අත්හැර යාමටද සිදුවිය. එහිදී එ් මහතාට එල්ල වූ ප්‍රධානම චෝදනාව වූයේ රාජපක්ෂවරුන්ගේ හොර මැරකම් හා දූෂණ චෝදනා යටගසන බවටත්, ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවටත්, අධිකරණයටත් බලපෑම් කරන බවටත් වූ බරපතළ චෝදනාවයි. මෙම ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සහයෝගයෙන් පවතින්නට නම් නීතියේ ආධිපත්‍යය ස්ථාවර කිරීම අනිවාර්ය සාධකයන් බවට පත්ව තිබේ. ඒ සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන්ගේ කැපවීම අවශ්‍යය. වචන වලින් පමණක් ඒ කැපවීම පෙන්වාදිය නොහැකි අතර ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය.
ආණ්ඩුවට මහාචාර්ය විජේසූරිය එල්ල කරනු ලබන අනෙක් ප්‍රධාන චෝදනාව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ චෝදනාවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් අනිවාරයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේ, තුනෙන් දෙකක එකමුතුවක් පැවතිය යුතුය. ඒ සඳහා ප්‍රධාන පක්ෂ දෙකේම නායකයන් හා පාක්ෂිකයන් අතර මනා විනයක් හා කැපවීමක් තිබිය යුතුය. එකිනෙකාගේ බල අරගලයෙන් වියුක්තව පොදු මතයක් වෙනුවෙන්, යෝජිත නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකි ඉඩකඩ ලබා දෙනු ඇත. නමුත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ප්‍රමුඛ කැපවීමක් තිබිය යුතුය. නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි කාරණා සීරියස් බිස්නස් වේ. ඒවා ගැලරියට කතා කරමින් අවේගයෙන් සංවේදී වී සිදු කළ හැකි ඒවා නොවේ. ඒ සදහා වෘත්තීය භාවයක් හා රාජ්‍යතාන්ත්‍රික භාවය තිබිය යුතුය. එසේම ජන සමාජයට සංවේදී මෙවැනි කාරණා පිළිබඳව වඩා සිහි නුවණින් කටයුතු කළ යුතුය.
එක්සත් ජාතික පක්ෂයට පවතින ක්‍රමය තුළ ජනාධිපති ධූරය මැතිවරණයකින් ලබා ගැනීමට ඉඩකඩ තිබුණද එය අහෝසි කිරීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරමින් තිබේ. මේ සඳහා මට පෙනෙන විශාලතම බාධා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත්, ජනාධිපතිවරයා සිරස කුමරිය යැයි සිතා කටයුතු කරන එම මාධ්‍ය ආයතනයත්ය. නමුත් සිරස මාධ්‍ය ආයතනයේ ක්‍රියාකලාපය රටට මෙන්ම යහපාලන රජයටද යහපත් නොවේ. රටේ පසුගිය කාලයේ සිදුවූ ඉන්ධන අර්බුදයට විශාල වශයෙන් එම මාධ්‍ය ආයතනයත් තවත් එවැනිම රාජපක්ෂවරුන්ට හිතවත් මාධ්‍ය ආයතනයකුත් වගකිව යුතුය. රටේ ඇති සියලුම අතිරික්ත ඉන්ධන ජනතාව පෝලිම්වල සිටිමින් ගෙදරට රැගෙන යෑමට සිදුවූයේ මෙම මාධ්‍ය ආයතන වල ක්‍රියාකලාපය නිසාවෙනි. විශේෂයෙන් ජනාධිපතිවරයා සිරස සිගිති කුමාරිය යැයි සිතා කටයුතු කරනු ලබන මෙම කුප්‍රකට මාධ්‍ය ආයතනය ලංකාවට පැමිණෙන සියලුම ආයෝජකයින්ගේ හා ආයෝජන වලින් කප්පම් ඉල්ලනු ලබයි. එම ආයතනයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරනු ලබන අතර එම නිසාම මෙම මාධ්‍ය ආයතනය එක්සත් ජාතික පක්ෂයේ නායකයා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුව එක්සත් ජාතික පාක්ෂිකයන් ජනාධිපතිවරයා සැක කිරීමට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරයා වර්තමානයේ මුහුණ දෙමින් සිටින හුදෙකලා බවට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙම මාධ්‍ය ආයතනයේ කුප්‍රකට දුරදිග නොබලන මෝඩ මංජරී ක්‍රියා කලාපයයි. මෙම මාධ්‍ය ආයතනය තුල කටයුතු කරනු ලබන බොහෝ දෙනෙකු සිතාගෙන සිටිනුයේ මෙම මාධ්‍ය ආයතනය නොමැතිව ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට පැවැත්මක් නොමැති බවයි. ජනාධිපතිවරයා මෙම මාධ්‍ය ආයතනයේ සිරකරුවකු වී ඇති බව බැලූ බැල්මට පෙනීයයි. එමනිසා එක්සත් ජාතික පක්ෂයෙන්ද ජනාධිපතිවරයා අත්හැර දමා ඇති අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, තමන් බලයට ගෙනා එක්සත් ජාතික පක්ෂය සහ අනිකුත් බලවේගත් අමතක කොට මුදලාලි කෙනෙක්ගේ ග්‍රහණයට හසු වී ඇති බව එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෙනීයයි. සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම සිදුවනු ලබන අපහාස උපහාස තුලින් ජනාධිපතිවරයා අපහසුවට පත් වුවද ඒ පිළිබඳව දිගින් දිගටම මැසිවිලි නැගුවද සිරස මාධ්‍ය ආයතනය තුළින් ජනාධිපතිවරයාට කරන හානිය මෙතෙකැයි කිව නොහැකිය.
පසුගියදා ලංකාව තුල, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කළේය. එය සිදුකරන ලද විදුලි සංදේශ නියාමන කොමිසම එම වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සැපයුම්කරුවන් හරහා නවතා දැමීය. රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීමට පෙරමුණ ගත් වෙබ් අඩවියක් වන එම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීම ජනවාරි 8 වෙනිදා ජනවරමට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. මේ සඳහා මූලික වශයෙන් බලපා ඇත්තේ, ලැබෙන ආරංචි අනුව ඉහත කී සිරස කුමරිය මාධ්‍ය ආයතනයේ බලපෑමයි. මෙම මාධ්‍ය ආයතනය හැසිරෙන ආකාරය අරුම පුදුම සහගතය. එම ආයතනයේ සේවය කරන්නන් ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවලට කතා කරමින් ජනාධිපතිවරයාගේ නියෝගයක් යැයි කියා බලහත්කාරයෙන් වෙළද දැන්වීම් ලබා ගනී. එසේම ජනාධිපතිවරයාගේ නම විකුණමින් ජනාධිපතිවරයා වෙනුවෙන්, ජනාධිපතිවරයා සඳහා කියා ප්‍රකාශ කරමින් විශාල ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගෙන් මුදල් එකතු කරනු ලබයි. එසේම අනෙක් අතට ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයටත්, එහි නායකයාටත්, අනෙකුත් ප්‍රධාන ඇමතිවරුන්ටත් විශාල ප්‍රහාරයක් එල්ල කරනු ලබයි. විශේෂයෙන් මෙම තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් සහයෝගයට විශාල බලපෑමක්ව තිබේ. ජනාධිපතිවරයාව එක්සත් ජාතික පක්ෂයෙන් සැක කරනු ලබන තත්ත්වයට පත්වූයේ මෙම මාධ්‍ය ආයතන ක්‍රියා කලාප නිසාය.
මාගේ පෞද්ගලික තක්සේරුවනම් ජනාධිපතිවරයාගේ පැවැත්මට, ජනාධිපතිවරයා මෙම මාධ්‍ය ආයතනයේ උගුලෙන් වහා මිදිය යුතුය.

තුෂාර වන්නිආරච්චි

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...