Thursday, November 23, 2017

ඕමාන රජුගේ දකුණු අත වූ ලාංකික වීරයා


අපේ ලංකාවේ රුහුණු රටේ උපන් උතුම් වීර පුතෙකු වූ එෆ්. ෆීලික්ස් ද සිල්වා මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සදාතනිකව බුහුමන් ලබන සම්භාවනීය චරිතයක්. එතුමා ඕමානය වෙනුවෙන් කළ විශ්ෂ්ඨ සේවාව නිසාම එහි ජනතාව ලාංකික වෘත්තිකයින් වන අපටත් සලකන්නෙ ගෞරව පුරස්සරවයි.

1925 වසරේ ගාල්ලේදී උපන් එතුමා අකුරු කෙරුවෙ ජෙසුයිට් නිකායික මිෂනාරී පූජකතුමන්ලාගේ දැඩි අධීක්ෂණය යටතේ ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහලෙනුයි. මේ පාසැලේ විනයවත් පාලනය තුලින් තමුන් දැඩි ශික්ෂණයක් ලද බවත්, ඒ ගුණාංග පසුකාලීන ජීවිතයේ සාර්ථකත්වයට සෘජුව දායක වූ බවත් එතුමා පවසා තිබෙනවා.

පාසල හැර යාමෙන් පසුව තරුණ ෆීලික්ස් වතු වගාවට යොමු වී තිබෙනවා. නමුත් ඒ ක්ෂේත්රය ඔහු බලාපොරොත්තු වූ තරම් අභියෝගාත්මක නොවූ නිසාත්, ඒකාකාරී වූ නිසාත් රට හැර යන්නට තීරණය කර තිබෙනවා. ඒ අනුව එවකට බ්රිතාන්‍ය යටත් විජිතයක් ව තිබූ අප්රිකානු රටක් වූ ටැංගනිකාවට සංක්රමණය වූ ඔහු එහි පොලිස් දෙපාර්තමේන්තුවට බැදුනා. සේවයට ඇති කැපී පෙනෙන ලැදියාවත්, උනන්දුවත්, කාර්යශූර බවත්, නොකම්මැලි බවත් නිසා එවකට එහි පාලන බලය දරා සිටි බ්රිතාන්‍ය නිලධාරීන්ගේ සිත් දිනාගෙන ඉතා ඉක්මනින් උසස්වීම් ලබාගත්තා.

එහිදී ලත් ආරාධනාවකට අනුව නවසිය හැට ගණන් වල මුල් භාගයේ එවකට ළදරු අවස්ථාවේ තිබූ ඕමානයේ පොලිස් දෙපාර්තමේන්තුවට බැදුනු එතුමා, පෙර පුරුදු පරිදිම දැඩි කැපවීමෙන් සේවය කර කෙටි කලකින් උස්සවීම් ගණනාවකට හිමිකම් කිව්වා. හැත්තෑව දශකයේ මුල් භාගයේදී එතුමා රාජකීය ඕමාන පොලිස් දේපාර්තමේන්තුවේ ප්රධාන පොලිස් පරීක්ෂක ධූරයට මෙන්ම, රේගු අධිකාරී ධූරයටත් පත් වුනා.

ඔහු ඉතාමත් දක්ෂ ලෙස පොලිසිය ප්රතිසංවිධානගත කලා. පොලිසියේ ශාඛා, අනු ශාඛා බෙදා වෙන් කර භූ විෂමතා හා කලාපීය දේශගුණික විෂමතා සැලකිල්ලට ගනිමින් මුහුදු, කදුකර, කාන්තාර, ගුවන් ආදී අංශ වලට අයත් නිලධාරීන්ට විශේෂ පුහුණුවීම් ලබා දීමට කටයුතු කලා. 1983 දී ඕමාන පොලිස් දෙපාර්තමේන්තුව ඉතා හොදින් පුහුණු කරන ලද නිලධාරීන්ගෙන් සමන්විත, මනාව සන්නද්ධ, සංවිධානාත්මක සහ නවීන තාක්ෂණික උපකරන හා ක්රමවේදයන්ගෙන් පිරිපුන් ගල්ෆ් කලාපයේ විශිෂ්ඨතම පොලීසිය බවට පත් වුනා. මේ සියල්ල පිටුපස සිටි යෝධ සෙවනැල්ල අපේ වීර ලාංකික යුග පුරුෂයාගේ අප්රතිහත ධෛර්ය්‍යය බව කීම අතිශයෝක්තියක් නොවෙයි.

මහජනතාවගෙන් දුරස්ව තිබූ පොලිස් සේවාව මහජන මිතුරු සේවාවක් කරන්නට එතුමා මහා වෙහෙසක් දැරුවා. වඩා දුරස්ථ කදුකර ප්රදේශ වල හුදෙකලා ගෝත්රික ජන කණ්ඩායම් සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ප්රසාදය දිනා ගැනීමට ආකල්ප සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් එතුමා දියත් කලා. මෙය ලෙහෙසි පහසු කාරියක් හෙම නෙවෙයි. සමහර ගෝත්රික කණ්ඩායම් ඉතා දරුණු සහ ප්රකෝපකාරී හැසිරීම් රටාවල් ඇති අය වීම ඊට හේතුවයි.

මේ සියළු කාරණා අතිශයින් සාර්ථක වූ නිසා මෙතුමා ඕමානයේ වත්මන් නායකයා වූ ගරු සුල්තාන් ක්වාබස් සායිඩ් අල් සෙයිඩ් රජතුමාගේ දැඩි ප්රසංසාවට ලක් වුනා. සේවයෙන් විශ්රාම යාමෙන් පසුව රජතුමා ඔහුව පොලිස් දෙපාර්තමේන්තුවේ ගරු උපදේශක තනතුරට මෙන්ම තීරණාත්මක විදේශ දූත මණ්ඩල කටයුතු වලදී තම පුද්ගලික උපදේශකයා ලෙසද පත් කර ගත්තා.

මේ සා මහත් ගරු නම්බු පට්ටන්දර මැද්දෙ ජීවත් වුනත් එතුමා ඉතාම නිහතමානී පුද්ගලයෙකු වුනා. රජුන් හා කරට කර හිටියත්, ඉහලම ප්රභූ පැළැන්තිය ඇසුරු කලත් සාමාන්‍ය ජනතාවටත් ඔහු එකසේ සැලකූ බව තතු දන්නෝ පවසනවා. ඒ වාගේම මොන තරම් කාර්ය බහුල වුනත් එතුමාට තම පවුල තරම් වටිනා සම්පතක් තවත් තිබුනේ නැතිලු. එතුමාගේ නිවසට ගොඩ වෙන අමුත්තන් ඒ නිවසේ තිබූ චාම් සාමකාමී සිරියාවන්ත පරිසරය දැක පුදුම වූ බව සදහන්.

නිර්භීත ක්රීඩකයෙකු වූ එතුමා අධිවේගී මෝටර් රථ ධාවන ශූරයෙකුත් වුනා. ටැංගනිකාව, කෙන්යාව, දකුණු අප්රිකාව ආදී රටවල පැවැත්වුන විවෘත තරගාවලි ගණනාවකදී ජයග්රහණ ලැබූ බව සදහන්.

මේ සියළු කාරණා වලට වඩා වැදගත් වන්නේ එතුමා සිංහල බෞද්ධයෙකු ලෙස තම අක්මුල් අමතක නොකිරීමයි. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බඹ විහරණ අනුව ජීවිතය හැඩගස්වාගෙන සිටි මෙතුමා තමා උපන් ගාල්ල ප්රදේශයේ විහාරස්ථාන වලටත්, අතමිට හිග නෑදෑ හිතවතුන්ටත් නිර් ලෝභීව තම ධනය පරිත්‍යාග කල බව තතු දන්නෝ පවසනවා. නමුත් මේ කිසිවක් ප්රසිද්ධියේ නොකරන්නට එතුමා පරිස්සම් වුනාලු.

තමා හදවතට එකගව විශ්වාස කළ දේ නොපැකිළව පවසන්නටත්, අනුමත නොකරන දේ පිළිබදව ප්රසිද්ධියේම විරෝධය දක්වන්නටත් එතුමා පසුබට වුනේ නැහැ. මෙවැනි විශිෂ්ඨ ගුණාංග සහිත පුද්ගලයින් මිහි මත පහළ වෙන්නේ අතිශයින්ම කළාතුරකින්.

ජීවිතයේ අවසාන කාලයේ දැඩිව රෝගාතුරව සිටියත් එතුමා මහත් දහිරියකින් ඒ වේදනා දරා සිටි බවත්, දයාබර බිරිදත් දියණියනුත් එක්ව ඉතා සැලකිල්ලෙන් සත්කාර කල බවත් සදහන්. ලොවක් ජය ගත් අපේ වීරයා අවුරුදු 76 ක් ආයු වළදා 2001 ඔක්තෝබර් මස 23 වැනිදා ඇමෙරිකාවේදී සදහටම දෙනෙත් පියා ගත්තා.

සෙනරත් කුමාරසිරි පෙරේරා

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...