Tuesday, November 28, 2017

මැතිසබය රත්වෙයි --- තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද හදිසියේම පාර්ලිමේන්තුවට


මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබෙන කාරණයක් ගැන වැඩි අවධානයක් යොමු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමඟයි. හිටපු ජනාධිපතිවරයා හදිසියේ පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමක් සඳහායි.

හරියටම 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක්ම පැමිණ සිටියහ. මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයට ගිය හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟම එහිදී දිවා ආහාරය ලබා ගත්තේය.

දිවා ආහාරය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා යන විට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හමුවිය. සුහදව හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා කතා කළ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හර්ෂ ද සිල්වා මහතාගේ කරට අත දාගෙන සුහදව කතාබස් කරමින්ම මන්ත්‍රි භෝජනාගාරයට ගියේය.

මන්ත්‍රි භෝජනාගාරයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අසලට පැමිණි අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ටික වේලාවක් කතාබස් කළේය. දිවා ආහාරය ලබාගෙන අවසන් වී විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහත්වරුද හිටපු ජනාධිපතිවරයා අසලට පැමිණ කතාබස් කළහ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ කමිටු ශාලා අංක 2 වෙත සවස 2.45 වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවකටය.

ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් කමිටු ශාලා අංක 2හි අසුන්ගෙන සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අපේක්ෂාවෙනි.

රැස්වීම ආරම්භ වීමෙන් අනතුරුව ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, වාසුදේව නානායක්කාර, රංජිත් ද සොයිසා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක්ම අදහස් දක්වන්නට වූහ.

ඔවුන් සියලුදෙනාම වාගේ පෙන්වා දුන්නේ මෙම සාකච්ඡා සාර්ථක කර ගන්නට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ යුතු බවයි. එසේ නොමැතිව සිදු කෙරෙන මෙම සාකච්ඡා ඵල රහිත බවත් ඒ ගැන මීළඟ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කරන ලද කමිටුවට අයත් මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් දැනුවත් කරන ලදී.

“දේශපාලන පළිගැනීම්වලට ලක්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණදීලා තියෙනවා. හුඟ දෙනකුගේ ගමන් බලපත්‍ර උසාවි භාරයේ. බැංකු කටයුතු පහසුවෙන් කරගන්න බැහැ. පවුලේ සාමාජිකයන්ටත් බැංකු කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුවෙලා. එෆ්.සී.අයි.ඩී., සී.අයි.ඩී. එකට යන්න වෙයි කියලා බොහෝ දෙනකු ඉන්නේ පීඩනයකින්.” යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය.

“කිසිම කාලෙක සිදු නොවූ ආකාරයෙන් අභූත චෝදනා නඟමින් දේශපාලන පළිගැනීම් වත්මන් ආණ්ඩුව සිදු කරමින් පවතිනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙසේ කමිටු ශාලා අංක 2හි මෙම සාකච්ඡාව යන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැමිණියේ කමිටු ශාලාවක පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා සහභාගිවීමටය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම පැවැත්වෙන කමිටු ශාලාවේ ‍ෙදාරටුව අසලටම ගිය මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා හොඳින් එය පරීක්ෂා කළ නිසා එම කමිටු ශාලාවට ඇතුළු නොවී කඩිනමින් ආපසු පැමිණියේය. තව පොඩ්ඩෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයාට සිදු වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමටය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැය එකහමාරක කාලයකින් පසුව අවසන් වූයේ සවස 4.15ට පමණය.

සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යෑමට පැමිණෙමින් සිටියදී ආලින්දයේදී මුණගැසුණේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාය.

තිලංග සුමතිපාල මහතා සුහදව කතාබස් කළ අතර ඉන් සමුගෙන හිටපු ජනාධිපතිවරයා ඉදිරියට ගියේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පිටුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැමිණි අතර මිට මොළවා දකුණතින් තිලංග සුමතිපාල මහතා නාමල් රාජපක්ෂ මහතාගේ අතේ බාහුවට ප්‍රහාරයක් එල්ල කළේ කරාතේ ශූරයකු සිහිගන්වමිනි. එම විහිළුවෙන් දෙදනාම හොඳටම සිනාසුණහ.

මැතිසබය තුළ ආණ්ඩු පක්ෂය පැත්තෙත්, විරුද්ධ පක්ෂය පැත්තෙත් මේ ආකාරයෙන් යම් යම් කසු කුසු සාකච්ඡා පැවැත්වෙන්නේ මාතෘකා කිහිපයක් ඔස්සේය.

කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපා යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, ‘අපේ ජනාධිපති අපි බලාගන්නම්’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ සාකච්ඡා. මෙම යම් යම් ස්ථානවල පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණි.

නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාපා, එස්. බී. දිසානායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබිලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් විටින්විට හමුවී මැති සබය තුළත් මැති සබයෙන් පිටතදීත් සාකච්ඡා කරන බව දක්නට ලැබිණි.

පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ජෝන් අමරතුංග, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු යම් යම් අවස්ථාවල හමුවී සාකච්ඡා කළහ.

චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රංජිත් ද සොයිසා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද කතාකරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වයයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චමින්ද විජේසිරි, හේෂා විතානගේ, සංදීප් සමරසිංහ, අශෝක ප්‍රියන්ත යන මහත්වරුද බොහෝ වේලාවක් ආණ්ඩු පක්ෂයේ පසුපෙළට වී සාකච්ඡා කරමින් සිටිනු දක්නට ලැබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, රංජිත් ද සොයිසා, පියංකර ජයරත්න මන්ත්‍රිවරුන් තිදෙනා පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ ආලින්දයේදී කතාබස් කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුවේ) රැස්වීමට යෑමට පැමිණි එහි සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනා දැක එම ස්ථානයට ගියේය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පළාත් පාලන ඡන්දය සහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතාබස් කළහ. ඡන්දය කඩිනමින් ලබාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යෑමට පැමිණි අවස්ථාවේදී එම දිස්ත්‍රික්කයම නියෝජනය කරනු ලබන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා මුණගැසුණේය.

කොහොමද මන්ත්‍රිතුමා දේශපාලන තත්ත්වය හේෂා විතානගේ විමසීය.
‘අපි දිනනවා’ රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා.

‘බලමු, බලමු’ කියමින් හේෂා විතානගේ මන්ත්‍රිවරයා යන්නට ගියේය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පුස්තකාලය අසලදී මුණගැසුණේ මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.

මෙසේ එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාට මුණගැසුණේ හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩුලිප් විජේසේකර මහතාය.

‘ආ--- කොහොමද? මොකද තත්ත්වය’ කියමින් අතට අත දුන් රංජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයා වර්තමාන දේශපාලන තත්ත්වයද විමසා සිටියේය.
අපේ වැඩේ යනවා කියමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩුලිප් විජේසේකර මහතාය.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...