Saturday, November 25, 2017

අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක


1) 2020 මහ මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. ලංකාවේ ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණට චන්දයකින් බලයට ඒමට හැකි විය​. අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහනය ලංකාවේ නව යුගයක් ඇති කරන බවට ලකුණු පහල වී තිබේ​. මෙතෙක් ප්‍රධාන පක්‍ෂ දෙකේ හොරකම් , දූෂණය සහ නාස්තිය නිසා ප්‍රපාතයට වැටී සිටි ලංකාව බේරා ගැනීමට හැකි ගැලවුම්කරුවා ඔහු බව ජවිපෙ හිතවාදීන් පමණක් නොව මෙතෙක් කල් ප්‍රධාන පක්‍ෂ වලට චන්දය දුන් ජනයාද පවසති.

2) අනුර කුමාර දිසානායක සරල නායකයෙකි. ඔහු නව රජයේ බොහෝ වියදම් කපා ඒවා ජනතා සුබසෙත සඳහා යොදවා තිබේ. පාර්ලිමේන්තු නියෝජිතයන්ට අධික මිලැති සුපිරි වාහන වෙනුවට ලාභ දායක ඩබල් කැබ් නිර්දේශ කොට ඇත​.

3) ජවිපෙ නව රජය යටතේ ආහාර ද්‍රව්‍ය සඳහා වූ මිල 75% අඩු කොට ඇත​. ජනතාව පෝලිම් ගැසී සහන මිලට දෙන භාණ්ඩ මිලදී ගනිති. ගොවීන් සඳහා පොහොර මෙන්ම අනෙකුත් නව සහනාධාර ලබා දෙයි.

4) ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක විසින් මෙතෙක් ව්‍යාජ ලෙසින් ජනතාව රවටමින් කල එෆ්.සී.අයි.ඩී නඩු ඇසීම් නාටක අවසන් බවත් රාජ්‍ය දේපළ සොරකම් කල දේශපාලකයන්ට මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ට ජනතා උසාවි මගින් දඞුවම් දීමත් ඔවුන් වංචනික ලෙස උපයාගත් දේපළ රාජ්‍ය සන්තක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේය​.

5) ජනාධිපතිවරයා ශපථ කල ලෙසින් දේශපාලකයන් බොහෝ දෙනෙකුට මෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට ජනතා උසාවි මගින් නඩු පවරා තිබේ. ප්‍රමාදයකින් තොරව ඇසෙන මෙම නඩු මගින් වරදකරුවන් සිරගත කිරීමටත් ඔවුන් ගේ දේපළ පවරා ගැනීමත් කෙරේ.

6) ජනතා මුදල් සොරකම් කිරීමේ චෝදනාව මත බැසිල් රාජපක්‍ෂ, විමල් වීරවංශ , සරණ ගුනවර්ධන , රවී කරුණානායක යන දේශපාලකයන්ට සිර දඞුවම් නියම කොට ඇත​. ඔවුන් ගේ දේපළ රජයට පවරාගෙන තිබේ. තවත් බොහොමයක් දේශපාලකයන්ට විරුද්ධව නඩු ඇසෙමින් පවතියි. විමල් වීරවංශ ගේ සුපිරි නිවස රජයට පවරාගෙන එහි ඩේ කෙයාර් එකක් ආරම්භ කොට තිබේ.

7) හිටපු දේශපාලකයන් බොහෝ දෙනෙකු දැන් සිරභාරයේය​. ඔවුන් විසින් වංචනිකව මිලට ගත් දේපළ ජනසතු කොට තිබේ. සමහර දේශපාලකයන් විසින් පිටරට බැංකු වල සඟවා තිබෙන බිලියන ගනනක මුදල් යලි ලංකා රජය වෙත ලබා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය​.

8) ආහාර ද්‍රව්‍ය හිඟයක් වෙළඳ පොළ තුල පවතියි. ආහාර ද්‍රව්‍ය මිල 75 % අඩු කිරීම නිසා කළු කඩ වෙළඳුන් බඩු සඟවාගෙන බව රජය කියයි. මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් පවසන අන්දමට කිසිදු ආර්ථික තක්සේරුවකින් තොරව ආර්ථික විශේෂඥයන් ගේ නිර්දේශ නොතකා ආහාර ද්‍රව්‍ය මිළ 75 % අඩු කිරීම නිසා භාණ්ඩ ඌනයක් ඇතිවී තිබේ. කෙසේ නමුත් රජය විසින් පත් කරන ලද කළු කඩ වෙළඳුන් වැටලීමේ බලකාය විසින් සඟවන ලද ආහාර ද්‍රව්‍ය සොයා මෙහෙයුමක් අරඹා තිබේ. මේ බලකාය සමන්විත වන්නේ ජවිපෙ හිටපු කේඩර්වරයන් ගෙනි.

9) ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සලාක පොත් නිකුත් කොට තිබේ. සලාක පොත් වලට බඩු ගැනීමට ජනයා පෝලිම් ගැසී සිටිති. මේ අතර බොහොමයක් ජවිපෙ සාමාජිකයන් පෝලිම් වල නොසිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම මිනිසුන් ගේ නොසතුටට හේතු වී තිබේ.

10) ජනතා උසාවි මන්දගාමී බවත් පනවන ලද දඞුවම් කුඩා බවත් ජවිපෙ දැඩි මතධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායකට බලපෑම් කරති. ඔවුන්ට පොලිට් බියුරෝවේ සහයෝගය ලැබේ. සමාජවාදී රාජ්‍යක් ලංකාවේ ගොඩ නැගීම සඳහා අනුර කුමාර දිසානායක ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බව ඔවුන් ගේ චෝදනාවයි.

11) අනුර කුමාර දිසානායක ගේ බල අභිබවමින් ජවිපෙ දැඩි මතධාරීන් ගේ බලය වර්ධනයව තිබේ. 1988-89 කාලයේ ඝාතන කොට රටින් පිටවී ගොස් සිටි සාමාජිකයන් ද දැන් ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායකට අභියෝගාත්මක ලෙස ජවිපෙ දැඩි මතධාරීන්ට එක්වී ක්‍රියා කරති. ජනාධිපති මේ කල්ලියේ සිරකරුවෙක් බවත් ඔහු නාමික ජනාධිපතිවරයෙකු බවත් රාවයක් පවතියි.

12 ) රජය විසින් නව වෙනස්කම් ගනනාවක් ඇති කොට තිබේ. පුද්ගලික දේපළ සීමා කොට ඇත​. මේ නිසා බොහෝ නිවාස සහ ඉඩම් මෙන්ම වාහන රජයට පවරාගෙන තිබේ. සෑම රජයේ ආයතනයක්ම අධීක්‍ෂනයට මෙන්ම පාලනයට රතු කොමිසාර්වරු පත් කොට තිබේ. මේ රතු කොමිසාර්වරු ජවිපෙ සිටි පූර්ණකාලීනයන්ව සිටි භක්තිමත් සාමාජිකයන් ය​. මේ අනුව පාසල් , බැංකු , රෝහල් , රජයේ කාර්‍යාල මෙකී සියල්ලම පාලනය වන්නේ රතු කොමිසාර්වරු මගිනි. හමුදාවේ එ්කකද රතු කොමිසාර්වරු යටතේ පාලනය වේ. වැඩ වර්ජන තහනම් ය​. පුද්ගලික වෛද්‍ය සේවා , ටියුෂන් තහනම් කොට තිබේ. රෝහල් වල වෛද්‍ය වැඩ වර්ජනයක් කිරීමට උත්සහ කල වෛද්‍ය පාදෙනියව නිවාස අඩස්සියට පත් කොට තිබේ. ජනතාවගේ සෞඛ්‍යය කඩාකප්පල් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇත​.

13) ධනවතුන් බොහෝ දෙනෙක් රට හැරයාම නිසා රජයේ නිර්දේශයකින් තොරව පිට රට යෑම තහනම් කොට තිබේ. තමා සේවය කරන කාර්‍යාලයේ රතු කොමිසාර්වරයාට තමන් ගේ ගමන් බලපත්‍රය භාර දෙන ලෙසට නියෝගයක් පනවා ඇත​. රතු කොමිසාර්වරයාගේ අවසරයකින් තොරව ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීම වසර 10 ක සිර දඞුවම් ලැබීමට හේතු වේ. තවද වෙරලාරක්‍ෂක බලකාය විසින් හොරෙන් මුහුදු මගින් ඉන්දියාවට , මාලදිවයිනට පලා යන මිනිසුන් අත් අඩංගුවට ගැනීමත් අනවසර බෝට්ටු වලට වෙඩි තබා ගිල්වීමත් කරයි.

14) රෝහණ විජේවීරයන් ගේ උපන් දිනය නිවාඩු දවසක් බවට පත් කොට තිබේ. ඔහුගේ පින්තූරය සෑම කාර්‍යාලයකම මෙන්ම නිවසකම ප්‍රදර්ශනය කල යුතුය​. රෝහණ විජේවීරයන් ගේ උපන් දිනයට ගාළු මුවදොර පාසල් සිසුන් දස දහස් ගනනකගේ සහභාගීත්වයෙන් විශාල පෙලපාලියක් පවත්වයි. ළමෝ ජාතික කොඩි සමග විජේවීර ගේ රුව රැගත් කොඩි අතින් ගෙන පෙලපාලියේ යති. පොලිට් බියුරෝවේ සාමාජිකයන් ජන සතු කරන ලද ගෝල්ෆේස් හෝටලය ඉදිරියේ සාදන ලද අට්ටාලක සිට පෙලපාලිය පිලිගනිති. ප්‍රධාන නගර වලද මෙම පෙලපාලි පැවැත්වේ. ඒවාට රජයේ නිලධාරීන් අනිවාර්‍යෙන් සහභාගී විය යුතුය​. මෙම වාර්ශික පෙලපාලියට නොපැමිනි අයගේ නම් ලැයිස්තු අදාල රතු කොමිසාර්වරුන් වෙත යැවීමට ආයතන ප්‍රධානීන්ට නියෝග කොට තිබේ. රෝහණ විජේවීරයන් ගැන ප්‍රාථමික පන්ති වල සිට ළමුන්ට උගන්වති. ඔහු ලංකාව බේරාගත් විරුවාය​. ඔහුගේ ප්‍රතිමා කොලඹ නුවර ගාල්ල යනාදී මහා නගර වල ඉදි කොට තිබේ. මෙයින් කොලඹ ඉදි කරන ලද ප්‍රතිමාව උසින් අඩි 200 ඉක්මවයි.

15) රතු කොමිසාර්වරු හෙවත් පක්‍ෂ නියෝජිතයන් බොහෝ දෙනෙකු විසින් කරන දූෂිත ක්‍රියා නිසා ජනතාව රහසේ ජනාධිපතිවරයාට සහ රජයට දොස් කියති. රජයට පවරා ගත් සුපිරි නිවාස සහ වාහන මෙන්ම අනෙකුත් භාණ්ඩ රතු කොමිසාර් වරු පරිහරනය කරති. ඔවුන් හැසිරෙන්නේ අතීත ලංකාවේ අධිකාරම්ලා හැසිරුනු අහංකාර ලීලාවෙනි. රතු පොලිසිය පවා ඔවුනට යටත් ය​. සාමාන්‍ය ජනයා යටත් වැසියන් මෙන් නියාළුව ජීවත් වෙති. සාමාන්‍ය ජීවිත ගත කල රතු කොමිසාර්ලා බොහෝ දෙනෙකු දැන් උස්මුරුත්තාවට එන තෙක් සැප වලඳති. එක් රතු කොමිසාර්වරයෙක් කුමාර් සංගක්කාර ගේ ජනසතු කරන ලද නිවසේ පදිංචිව සිටි අතර එම නිවසේ පිහිනුම් තටාකයේ යුවතියන් සමග නිරුවතින් සාද දැමූ බව හෙලි විය​. මොහු හිටපු කාර්‍යාල කාර්‍ය සහායකවරයෙකි. නමුත් පක්‍ෂය සමග 1988 කාලයේ සිට හිටපු තැනැත්තෙකි. එම නිසා ඔහුට විරුද්ධව පියවර ගත්තේ නැත​.

16) රජය අපකීර්තියට පත් කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව නියමුවා පුවත් සේවය වාර්තා කරයි. ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය සහ පුද්ගලික පුවත්පත් අහෝසි කොට තෙවසරකි. මාධ්‍ය ඒකාධිකාරය රජය සතුය​. අන්තර්ජාලය සීමා සහිත කොට තිබේ. රජය විවේචනය කරන්නන් , කඩාකප්පල්කරුවන් සහ ද්‍රෝහියන් අත් අඩංගුවට ගැනීමට රතු ඔත්තු සේවය ක්‍රියාත්මක වේ. මෙහි සේවය කරන්නේ ජවිපෙ හිතවත් නිලධාරීන් වෙති. අතීතයේ ජවිපෙ විවේචනය කල පුද්ගලයන් ද අත් අඩංගුවට ගනිති. ඔවුන්ව විශාල එලිමහන් බන්ධනාගාර වල තාවකාලිකව රඳවා තිබේ. කිසිවෙකුටත් ඔවුන් බැලීමට යාමට ඉඩ දෙනු නොලැබේ.

17) අහාර මිල අඩු වූවද සලාක ක්‍රමය මත භාණ්ඩ බෙදා හැරීම සිදුවේ. පෝලිම් බොහෝ දිගය​. මිනිසුන් ගේ කාලය වැය වන්නේ පෝලිමේ සිට ආහාර ලබා ගැනීමටය​. නමුත් මිනිසුන් රජය විවේචනය කිරීමට බිය වෙති. යම් වදනක් කීවේද එම පුද්ගලයා සොයා ඔහුගේ නිවසට රතු ඔත්තු සේවයේ නිලධාරීන් එති. ඉන් පසුව ඔහුට සිර දඞුවම් පැනවේ. මේ නිසා මිනිසුන් ජීවත් වන්නේ සැකයෙනි ඔවුන් අසල්වාසීන්ටද බිය වෙති.

18) ජනාධිපති අනුර කුමාර දිසානායක යටපත් කරමින් පොලිට් බියුරෝවේ බලය අල්ලා ගත් ජවිපෙ දැඩි මතධාරීන් බරපතල තීරණ කීපයක් ගෙන තිබේ. දැනට රජය විවේචනය කිරීම , ජනතා සේවා කඩාකප්පල් කිරීම , කළු කඩ පවත්වාගෙන යාම , රටින් පිටවීමට තැත් කිරීම , රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවීම , යනාදී චෝදනා මත සිර දඞුවම් විඳින පුද්ගලයන් උතුරු මැද පලාත් වලට ප්‍රවාහනය කොට ඔවුන් ගේ ශ්‍රමය මගින් වාරිමාර්ග තැනීම සහ මැතිවරණ අහෝසි කොට ජවිපෙ පොලිට් බියුරෝව හරහා රට පාලනය කිරීමය​. මේ අනුව ජනාධිපතිවරයාව නාමික නායකයෙකු බවට පත් කොට තිබේ.

19) රජය විසින් උතුරු මැද කලාපයේ ගුලාර්ග් ශ්‍රම කඳවුරු පිහිටුවා ඇති බවත් එම කඳවුරු වල ආහාර හිඟය​, පහරදීම් , වෛද්‍ය සේවා නොලැබීම , දැඩි වෙහෙසකාරී සේවා වල යෙදවීම යනාදී කරුණු නිසා දෛනිකව මිනිසුන් දහස් ගනනාවක් මිය යන බව විමුක්ති රේඩියෝව පවසයි. මෙම විමුක්ති රේඩියෝ සේවය පවත්වාගෙන යන්නේ මානුෂික දේශයක් නිර්මාණය කිරීමට වෙහෙසුනු ජවිපෙ සිටි යහපත් මිනිසුන් ගේ දායකත්වයෙනි. මෙම සේවය ඉන්දියාවේ සිට රහසින් පවත්වාගෙන යන අතර මොවුන් ද්‍රෝහියන් බවත් අධිරාජවාදීන් ගේ කුලී හේවායන් බවත් නියමුවා පුවත් සේවය පවසයි.

20) රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවන්නන් පුනරුත්ථාපන කඳවුරු වලට යවනු ලැබේ. මේවා වධ කඳවුරු මෙනි. මෙකී කඳවුරු පාලනය කරන්නේ විශ්ව විද්‍යාල වල සිටි නවක වධකයන් ය​. ඔවුන් විසින් රැඳවියන්ව නොයෙකුත් කායික මානසික වධයන්ට ලක් කරති. නිරුවත් කිරීම , මිනිස් මළ මුත්‍ර පිරි ටැංකි වල ගෙල තෙක් ගිල්වා තැබීම , පොලු වලින් පහර දීම , කරති. වධයන්ට ලක් කරවමින් රජයේ ප්‍රතිපත්ති වලට එකඟ වීම සඳහා බල කරති. වසරක් ඇවෑමෙන් මෙම පුනරුත්ථාපන කඳවුරෙන් පිට වෙන රැඳවියා සෝම්බි කෙනෙකු මෙන් බියෙන් ගැහෙමින් ජීවත් වන අතර ඔහු රජයේ ඕනෑම රෙගුලාසියකට යටත් වෙයි.

21) කළාව පාලනය කරන්නේ රජය විසිනි. රජයේ අනුමැතියෙන් තොරව පොත් එලි දැක්වීම​, නාට්‍ය , චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් ය​. ටෙලි නාට්‍ය මගින් වර්තමාන රජයේ සංවර්ධනයන් අතිශයෝක්තියෙන් හුවා දක්වයි. උතුරු මැද පලාත් වල ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල මැරෙන ජනයා , අහාර හිඟ කමෙන් පීඩා විඳින මිනිසුන් , මන්ද පෝෂණයට ලක්වූ ළමුන්, මර්ධනයට ලක් වූ මිනිසුන් ගැන නිර්මාණ පළ වෙන්නේ නැත​. සියළු නිර්මාණ සඳහා කළා කටයුතු සඳහා පත් කොට තිබෙන කොමිසාර්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුය​.

22) රජය විසින් දියත් කරන ලද සැලසුම් , සංවර්ධන ක්‍රියාදාමයන් අඩාල වී තිබේ. මේ සඳහා එක් මූලික හේතුවක් නම් එකී විශයන් ගැන දන්නා විශේෂඥයන් වෙනුවට පක්‍ෂයේ හෙන්චයියන් ඒ ඒ තනතුරු වලට පත් කොට තිබීමය​. පක්‍ෂයේ හෙන්චයියන් විශේෂඥයන් මෙහෙයවති. ඔවුන්ට උපදෙස් දෙති. මේ නිසා අවසානයේදී සැලසුම් අඩාල වෙති. එහෙත් පොලිට් බියුරෝව පවසන්නේ අධිරාජවාදීන් විසින් කඩාකප්පල්කාරී මෙහෙයුම් දියත් කොට ඇති බවය​.

23) මේ ගෙවෙන්නේ ජවිපෙ රජය යටතේ දස වැනි වසරයි. අනුර දිසානායකව බල රහිත කොට තිබේ. රට පාලනය වන්නේ පොලිට් බියුරෝවෙනි. පොලිට් බියුරෝව සමන්විතව ඇත්තේ ජවිපෙ දැඩි මතධාරීන් ගෙනි. මින් සමහරක් 1988-89 කාලයේ සිටි ඝාතකයන් ය​. ඔවුන් ශ්‍රම කඳවුරු වල ඝාතන කිරීම අනුමත කරති. අඩු වයසැති රතු ගැටව් මෙම කඳවුරු වල සිරකරුවන්ට පොලු වලින් පහර දී මරා දමති. ඔවුන් අාගමක් සේ උමතුවෙන් විජේවීර ගේ දහම අදහති. මධ්‍යස්ථ මතධාරී ජවිපෙ සාමාජිකයන් මෙන්ම පක්‍ෂයේ සිටි මානුෂිකවාදී කොටස් දැඩි ලෙස කලකිරී සිටිති. යහපත් දේශයක් වෙනුවට අමු සොහොනක් නිර්මාණය කොට ඇති බවට ඔවුන් රහසේ පවසති. රතු ඔත්තු සේවය විසින් පක්‍ෂයේ සිටි මානුෂිකවාදී පිරිස් බොහෝ දෙනෙකු ද්‍රෝහියන් සහ බටහිර ඔත්තුකරුවන් ලෙස නම් කොට අත් අඩංගුවට ගෙන තිබේ. රතු ගැටවු මගින් ඔවුන්ව වධ බන්ධනයට ලක් කරති.

24) සී .එන් .එන් සහ බීබීසී පුවත් සේවා අනුව ලංකාවේ උතුරු මැද පලාතේ ගුලාර්ග් කඳවුරු වල මිලියනයකට අධික ජනතාවක් මිය ගොස් තිබේ. බොහෝ දෙනෙකු ආහාර හිඟකම , ලෙඩ රෝග සහ වධ බන්ධන නිසා මිය ගිය බව සඳහන් වේ. එහෙත් රජය මෙම චෝදනා ප්‍රතික්ශේප කල අතර මේවා අධිරාජවාදීන් ගේ කුහක ප්‍රචාර බව කියයි.

25) පොලිට් බියුරෝවේ බල අරගලයක් සිදු වූ බව වාර්තාවේ. දැඩි මතධාරී අන්තවාදීන් පරදවා ජවිපෙ තුල සිටි මානුෂිකවාදී පිරිස් එකා වන් නැගී සිට යලින් අනුර කුමාර දිසානායක වෙත බලය පවරා තිබේ. දැඩි මතධාරී අන්තවාදීන් විසින් සමජවාදය සඳහා කියමින් රටේ යටිතල සේවා පමණක් නොව මැජෙස්ටික් සිටි , ලිබර්ටි ප්ලාසා යන මධ්‍යස්ථානද ගිනි තබා විනාශ කල බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක යලිත් විනාශ කල සමාජ ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරන බව කීවේය​.

(මෙය මා දුටු සිහිනයකි. මෙම සිහිනයේ ලෙසින් විනාශකාරීව කටයුතු සිදු නොවී අනුර කුමාර දිසානායක ජනාධිපතිව දැඩි මතධාරී අන්තවාදීන්ට යටත් නොවී රට සමෘද්ධිය කරා ගෙන යාමට හැකි වේවා කියා පතමු)

වෛද්‍ය රුවන් එම් ජයතුංග

   

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...