ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ලියාපදිංචි කරනු ලබන ආයතනය ලෙස සැලකෙන්නේ රජයේ වෛද්‍ය සභාවයි. මෙතෙක් අපේ රටේ වෛද්‍ය සභාව මඟින් වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර හෝ රාජ්‍ය මගින් නීතිගත කර හෝ නොමැත. ඊට එම සභාවේ කටයුතු කර ඇති පැරැන්නෝ වගකිව යුත්තා හ. මේ දිනවල තැන තැන දොඩවන හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද එම වගකීමට බැර වේ.
පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා සැමට අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමෙහිලා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරමින් සිටින බව කිසිවකුට රහසක් නොවේ. නිදහසින් පසු බිහිවූ සෑම රජයක් ම පොදුවේ මෙම කාර්යට දායක වී ඇත. මෙය වෙනත් බොහෝ රටවල දක්නට නොලැබෙන අපේ රටේ ජනතාවට ලැබී තිබෙන සුවිශේෂී සුබසාධන ප්‍රතිලාභයකි.
විශේෂයෙන් ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම නොමිලේ අධ්‍යාපනය සපයන රටවල් ඇත්නම් එය අතළොස්සක් පමණි. බොහෝ රටවල ප්‍රාථමික අධ්‍යාපනය කෙසේ වෙතත් උසස් අධ්‍යාපනයට මුදල් අය කෙරේ. ඒ අතින් ශ්‍රී ලංකාව නොමිලේ ලබා දෙනු ලබන අධ්‍යාපනය කිසිදු වෙනසක් නොකරනු ලබන සුබසාධන ප්‍රතිලාභයකි. මේ සඳහා වර්තමානයේ ද කප්පාදුව වෙනුවට අමතර ප්‍රතිලාභ ද දරු දැරියන් උදෙසා නිදහස් අධ්‍යාපන “පැකේජයට” එකතුවන බව පෙනේ. උසස් පෙළ හදාරන සිසුන් උදෙසා නොමිලේ පරිගණක (ටැබ්) ලබා දීමට මේ වසරේ සිට රජය කටයුතු කිරීම මීට හොඳම උදාහරණයයි. මීට අමතරව රජය ජාතික අයවැය ලේඛනය මගින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන ද වාර්ෂිකව වැඩ කරමින් සිටී.
ගෝලීය තරගකාරිත්ව වාර්තාවට අනුව ලොවේ තෝරා ගත් රටවල් 142ක් අතුරින් 2011 වසරේ දී ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ ගුණත්මක භාවය අතින් 40 වැනි ස්ථානයේ පසු විය. මේ වන විට එය තවත් වර්ධනව වී තිබේ. මෙය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. එහෙත් අපේ සාමාන්‍ය, උසස් හා වෘත්තීය අධ්‍යාපන පද්ධතිය රටේ මානව සම්පත් අවශ්‍යතාවය සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් ම වෘත්තීය අරමුණු පෙරදැරි කරගනිමින් වර්තමානයේ, අධ්‍යාපනයේ රාජ්‍ය නොවන අංශයක් වර්ධනය වෙමින් පවතින්නේ මෙවන් පරිසරයකය. මෙරට අධ්‍යාපනයේ රාජ්‍ය නොවන අංශයේ වර්ධනය දක්නට ලැබෙන්නේ අද ඊයේ සිට නොවේ.
පෞද්ගලික පාසල්
2016 වසරේ අවුරුදු 5 – 14 අතර වයස් සීමාවේ සිසුන්ගේ පාසල්වලට ඇතුළත් වීමේ අනුපාතය 97.3%කි. රාජ්‍ය පාසල් පද්ධතියට අමතරව පෞද්ගලික (ජාත්‍යන්තර නොවන ) පාසල් 105ක් හා පිරිවෙන් 754ක් මෙරට තුළ ක්‍රියාත්මක වේ. 136,407ක් 2016 වසරට සාපේක්ෂව මේවායේ ඉගෙනුම ලබති. මීට අමතරව ජාත්‍යන්තර පාසල්වල 86,605ක් වන සිසු පිරිස ද මීට එකතු විය යුතු ය. මේ නිසා රාජ්‍ය නොවන අධ්‍යාපනයක් ද සැලකිය යුතු මට්ටමකින් මෙරට තුළ ක්‍රියාත්මක වන බව පිළිගැනීමට අපට සිදු වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත කල මෙය වඩාත් කැපී පෙනේ.
රජය යටතේ පවතින විශ්වවිද්‍යාල 17 තුළ ඇති සීමිත සම්පත් විශාල සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමට තරම් ප්‍රමාණවත් නොවන බව මේ වන විට පැවැති සියලුම රජයන් විසින් හඳුනාගෙන ඇත. මේ නිසා දැනටමත් පසුගිය හා වර්තමාන රජයන් මගින් උසස් අධ්‍යාපනය සඳහා ආයෝජන කිරීම හා උපාධි පාඨමාලා පවත්වන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. රජයේ විශ්වවිද්‍යලවලට යෑමට නොහැකි වන දේශීය සිසුන් විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම හේතුවෙන් මෙරටින් ගලා යන විදේශ විනිමය අඩුකර ගැනීමට මෙම ප්‍රතිපාදනය හේතු වේ. මේ වන විටත් උපාධි අපේක්ෂාවෙන් පිටරට යන සිසුසිසුවියන් වෙනුවෙන් මවුපියන් පෞද්ගලිකව වැය කරන මුදල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට රජය වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලට වඩා වැඩි බව දැන ගැනීමට තිබේ. රාජ්‍ය නොවන උපාධි පිරිනමනු ලබන ආයතන මෙරට තුළ ස්ථාපිත කිරීමට ඉඩ දීම අඩුවෙන් තක්සේරු කළ නොහැකි වන්නේ මේ නිසා ය. 2016 වසර අවසන්වන විට ඩිප්ලෝමා හා උපාධි පිරිනමනු ලබන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක් ලියාපදිංචි කර ඇත. මෙම ආයතන මඟින් පිළිගත් දේශීය උපාධි පාඨමාලා ප්‍රමාණය 96ක් පමණ වේ.
2014 – 2015 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළට පෙනී සිටි සිසුන් ගණන 247,275කි. මින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ගණන 149,572කි. මින් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුල් වූයේ 17%කි. එනම් 25,624කි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබා ඊට යාගත නොහැකිව ඉතිරි වන පිරිසට සිදු වන්නේ කුමක් ද ? මේ සෑම දෙනාටම විශ්වවිද්‍යාල වරම් ලබා දීමේ හැකියාවක් කිසිදු රජයකට නොමැත. එවන් හැකියාවක් ලබා දීමක් ගැන කතා කළ හැක්කේ කිසි දිනක රාජ්‍ය බලයට නොපැමිණෙන අන්තවාදී කණ්ඩායමකට පමණි. මේ නිසා අනිවාර්යෙන් ම රාජ්‍ය නොවන ක්‍රමයකට මුදල් ගෙවා හෝ උපාධියක් ලබා ගත හැකි ක්‍රමයක් පොදු ප්‍රමිතියකට යටත්ව ස්ථාපිත වීමට ඉඩහැරිමට රජයකට සිදු වේ.
උපාධියේ ප්‍රමිතිය
මේ වන විට දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිතව රාජ්‍ය නොවන මට්ටමින් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හදාරන පිරිස 60,000කට අධික යැයි ගණන් බලා තිබේ. මෙම පිරිසට පෞද්ගලික අංශයෙන් හෝ ඩිප්ලෝමා සහතිකයක් හෝ උපාධියක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව රජය මගින් අත්හිටුවා තිබුණි නම් ඇති වන පීඩනය සිතා ගත නොහැකි සමාජ අර්බුදයක් දක්වා ගමන් කිරීම අනිවාර්ය සාධකයක් වනු ඇත.
සමහර අන්තවාදීන් රට යොමු කරමින් සිටින්නේ මෙවන් තැනකට දැයි කියන්න දන්නේ නැත. මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් කතා බහ කිරීමට සිදු වී තිබෙන්නේ මෙවන් පරිසරයකි.
‘සයිටම්’ එක් පුද්ගලයකුට අයත් පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමිමේ ආයතනයකි. මේ වන විට එය විදේශීය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ ආයතනයක් ලෙසින් නොපිළිගැනේ. එසේ නම් දේශීය වශයෙන් පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමේ ආයතනයකි. ශ්‍රී ලංකාව තුළ ඇති මෙවන් එකම ආයතනය ලෙසින් ද ‘සයිටම්’ සැලකේ. මේ වන විට ‘සයිටම් මඟින් පිරිනමන වෛද්‍ය උපාධියට එරෙහිව ප්‍රමිතිය හා පුහුණුව මුල් කර ගනිමින් දැවැන්ත විරෝධයක් මතු වෙමින් පවතී. එය සයිටම් විරෝධී ජන පවුර නමින් සමාජ ගත ව ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ සමස්ත පෞද්ගලික උපාධි ක්ෂේත්‍රය තුළ සයිටම් වෛද්‍ය උපාධිය තවත් එක් උපාධි පාඨමාලාවක් ලෙසින් තර්ක කළ හැකි ය. නීති, ගණකාධිකාරි, ඉංජිනේරු, කළමනාකරණ, පරිගණක ආදි විශේෂ ක්ෂේත්‍රයන් අළලා රාජ්‍ය නොවන අංශයන් මුදල් ගෙවා ඩිප්ලෝමා හා උපාධි පිරිනමන ආයතන රැසක් රට තුළ ක්‍රියාත්මක වේ. අ.පො.ස. උසස් පෙළ සමත් වීමෙන් තොරව අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ පමණින් ඩිප්ලෝමා හරහා උපාධියක් ලබා ගැනීමේ ආයතන පෞද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකේ ම මේ වන විට දක්නට ලැබේ.
වෛද්‍ය උපාධියක් සඳහා උසස් පෙළ සමත් වීම හා ප්‍රමිතිය හා පුහුණුව අත්‍යාවශ්‍ය බවට විවාදයක් තිබිය නොහැක. මේ අතර ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ලියාපදිංචි කරනු ලබන ආයතනය ලෙස සැලකෙන්නේ රජයේ වෛද්‍ය සභාවයි. මෙතෙක් අපේ රටේ වෛද්‍ය සභාව මඟින් වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර හෝ රාජ්‍ය මගින් නීතිගත කර හෝ නොමැත. ඊට එම සභාවේ කටයුතු කර ඇති පැරැන්නෝ වගකිව යුත්තා හ. මේ දිනවල තැන තැන දොඩවන හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද එම වගකීමට බැර වේ.
වෛද්‍ය සභාව
සයිටම් ආරම්භ කිරීමේ දී ඊට ඇවැසි අවම ප්‍රමිතීන් කවරේ දැයි ඒ අය එදා රජයේ වෛද්‍ය සභාවෙන් ඉල්ලා ඇති බව දැන ගැනීමට තිබේ. එහෙත් වෛද්‍ය සභාවට ‘සයිටම්’ ආයතනයට එවැන්නක් ලබා දීමට නොහැකි වී ඇත. එසේ නම් මේ අර්බුදයේ පළමු වග උත්තරකරුවා රජයේ වෛද්‍ය සභාවයි. ආණ්ඩුව ද උසාවි තීන්දුවක එල්ලී ප්‍රශ්නය මේතරම් දුරදිග යැවීම පිළිබඳ වගකිව යුතුය.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම සයිටම් අහෝසි කළ යුතුය යන්නයි. ඉන් මෙහා විසඳුමක් භාර ගැනීමට ඔවුහු සූදානම් නොවෙති. ඊට හේතුව සයිටම් අරගලය තුළ ඇති දේශපාලන හා ආණ්ඩු විරෝධය බව පැහැදිලි ය.
මේ අන්තවාදි තර්කය පදනමක් ලෙසින් ගන්නේ නම් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය නොවන උපාධි පිරිනැමීමේ ආයතන වසා දැමිය යුතුය. ඊට හේතුව ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් ආදියටද ප්‍රමිතියක් අවැසි බැවිනි. එසේ නම් වෛද්‍ය අධ්‍යාපනයේ ද ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නය විසඳීම අරඹන සටනක් දියත් විය යුතුය. ඒ සඳහා පිළිගත හැකි රාජ්‍ය මැදිහත්වීමක් සහිත ක්‍රමවේදයක් අවැසිය.
පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රකාශයට පත් වී තිබෙන්නේ එම ක්‍රමවේදය සහිත විසඳුම හා රාජ්‍ය ප්‍රතිපත්තියයි. ඒත් සමහරු එය පිළිගැනීමට සූදානම් නැත.
එහෙත් මෙම අරගලයේ බුද්ධිමත් මෙන් ම අන්තවාදී නොවන සංවිධානය ලෙසින් සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීම ප්‍රශංසනීයයි. මේ නිසා ප්‍රශ්නය සම්බන්ධයෙන් මැද තැනක සිට සාකච්ඡා කිරීමට රජයේ යෝජනාව පදනමක් ලෙසින් ගත හැකිය. මීට පෙරටුගාමීන්ගේ හා ජනතා විමුක්ති පෙරමුණේ බල අරගලය ද මැදි වී තිබෙන් බව පෙනේ. රටට ඉන් ප්‍රයෝජනයක් නොමැත. මෙහි දී වැදගත් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැද මාවතේ ස්ථාවරයයි. එය ජනාධිපති මෛත්‍රීගේ මැද මාවතේ ස්ථාවරය හ සමගාමිවි ‘සයිටම්’ අර්බුදය විසදා ගැනීමට වැඩදායකයි.
No comments:
Post a Comment